ගෙවීගිය මාස තුනේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ 50ක් රේගු භාරයට අරන් – මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

42

ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ඒ අතර කුෂ් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී පසුගිය දා සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (16 දා) ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගිය අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පසුගිය මස 25 වැනිදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේ දී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6ක් සොයා ගැනිණ. එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ බව ඇමැතිවරයා සඳහන් කළේය. ඉතාලියේ සිට ගෙන් වූ බහාලුමක තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35ක් සහ අමෙරිකාවේ සිට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10.5ක් මීට පෙර සොයා ගැනුණි.

මේ අතර නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද ඇමැතිවරයා පිළිතුරු ලබා දුන්නේය. එහි දී සියඹලාපිටිය මහතා කියා සිටියේ අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවයි. එවැන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බව කියා සිටි ඇමැතිවරයා පෙන්වා දුන්නේ එම පරාජය රටම යළි අරගල බිමක් බවට පත් කිරීමට හේතුවක් වනු ඇති බවයි.

අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ මතු වූ විවාදය පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් එය 5%ක මට්ටමක පවත්වාගෙන යා යුතු බව දන්වා ඇති බවයි. එහෙත් ගෙවී ගිය වසර 20 තුළ පැවැති කිසිදු රජයක් එම වගන්තියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් ඇමැතිවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය උග්‍රව පවතින මෙවැනි තත්ත්වයක් තුළ අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමම ගැටලුවක් බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment