විදුලියද බත්ද තීරණය ඇත්තේ ගොවි පුත්තු අතය

270

උඩවලව වතුර හිස් කිරීම කුමන්ත්‍රණයක්!

කුඹුරු අක්කර 65000ක් අනතුරේ

වගා බිම් විනාශය වටිනාකම කෝටි 3000 යි

විනාශ වන කුඹුර දෙස බලා ගොවි හදවත් හඩා වැටේ!

උඩවලව ජලාශය හිස්ය. උඩවලව ජලාශයෙන් ගොවිතැන් කළ දහස් ගණනක් ගොවීහු කෙත්වතු යායවල් වේලි විනාශ වී යන දෙස බලා සිටින්නේ දරාගත නොහැකි වේදනාවකිනි.

“අපි ණය වෙලා කුඹුරු කළේ. ඔක්කොම විනාශයි. මීට වඩා හොඳයි මුන් අපිව මරලා කෑවා නම්” අඟුණකොළපැලැස්ස ඒ. සෝමසිරි ගොවි මහතා වේදනාව පිට කළේ ඇස්වල කඳුළු පිසදමන ගමන්ය.

උඩවලව ජලාශයේ ජලය මේ තරම් ඉක්මනින් අවසන්වීම පිළිබඳව එක පැත්තකින් සැක සංකා පහළ වී ඇත. ඉකුත් ජූලි මස 01 වැනිදා වනවිට උඩවලව ජලාශයේ ජලය සියයට පනහක මට්ටමකට පිරී තිබිණි. නමුත් ජූලි 31 වනවිට ජල මට්ටම සියයට 13 දක්වා පහළ ගියේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා දැයි විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් සැක පහළ කරති. මේ වනවිට උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට දෙකකට බැස ඇත.

මේ ජලාශයට උඩින් ඇත්තේ සමනල වැව ජලාශයය. මුලින් ඉදිකළේ උඩවලව ජලාශයය. උඩවලව ජලාශයේ සියලු ජල පෝෂක ප්‍රදේශ ඊට ඉහළින් ඉදිකළ සමනල වැව ජලාශය නිසා ඇහිරී ගිය බවද කිව යුතුය. පිහිටුවා තිබෙන ජල කළමනාකරණ කමිටුව හරිනම් පියවර ගත යුත්තේ සමනල වැව ජලාශයේ දැනට පවතින ජලය ඝන මීටර් මිලියන හැටෙන් කොටසක් උඩවලවට මුදාහැරීමටය. මැති ඇමැතිවරු ඇතුළු පිරිසගෙන් සමන්විත ජල කළමනාකරණ කමිටුව ඒ තීන්දුව නොගන්නේ ඉහළින් අවසර නැති බැවිනි.

උඩවලව ජලාශයෙන් ගොවිතැන් කළ කුඹුරු අක්කර 65,000 දැන් විනාශ මුඛයකය. තව සති දෙක තුනකින් අස්වැන්න කපා ගැනීමට හැකි කුඹුරු අක්කර 65,000ක වී කරල් සහිත ගොවිබිම් ජලය නොමැතිව විනාශ වී යෑම මොනතරම් අපරාධයක්ද. ඒ කුඹුරුයායවල් විනාශ වී ගියහොත් ඉන් සිදුවන පාඩුව රුපියල් කෝටි 1700 කි. ඒ කියන්නේ රුපියල් බිලියන දාහතකි. මේ බිම්වල වගාකර තිබෙන අතුරු භෝගද විනාශ වී යෑමෙන් පසු ඒ සිදුවන විනාශයේ වටිනාකම රුපියල් කෝටි 3000 කි. ඒ කියන්නේ රුපියල් බිලියන තිහක මුදලකි. දේශපාලන ඔස්තාර්ලාට මේ විනාශය පිළිබඳ එතරම් හැඟීමක් නොමැත. හේතුව මේ අය ගොවීන් විඳින දුක විඳ නොමැති නිසා විය හැකිය. සමනල වැව ජලාශයේ ජලය උඩවලව හරහා ගොවිජනතාවගේ ගොවිබිම් වෙත ලබානොදී සිටීම එළැඹෙන මැතිවරණයකදී පාලකයන්ට පාරාවළල්ලක් වනු නිසැකය. මැතිවරණ තිත්ත වී ඇති යුගයක ඒ පිළිබඳ කියනවාට වඩා වටින්නේ මේ කුඹුරු හා අතුරුභෝග විනාශය නිසා සාගින්නේ මිය පරලොව යන්නට ජනතාවට සිදුවන බව කීමය.

සමනල වැවෙන් ගොවිබිම්වලට ජලය මුදාහැරීම පිළිබඳව ඉකුත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරිණි. විදුලි ඇමැති කංචන විජේසේකරට අනුව සමනල වැවෙන් ගොවිබිම්වලට ජලය ලබා දුන්නොත් දකුණු පළාතේ පිහිටි ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනට දිනකට පැය හතරක විදුලිය කපා හැරීමට සිදුවන බවය. කැබිනට් මණ්ඩලයේ සිටින ගොවි පුතුන් යැයි කියන පිරිස ගොවි ජනතාව වෙනුවෙන් හඬ නැගූ බව පසුව කියැවිණි. නමුත් දකුණු පළාතට පැය විසිහතරේම විදුලිය ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 3000 ක් වටිනා කුඹුරු හා අනෙකුත් භෝග වගා විනාශවන්නට අතහැර බලා සිටීමේ තීරණයක් ප්‍රකාශයට පත්ව ඇත.

දැන් ගොවීන් ඉල්ලන්නේ සමෘද්ධිය හෝ අස්වැසුම නොව වතුරය. වතුර ඉල්ලන්නේ කුඹුරු බිම් ටික රැකගන්නටය. අතුරු භෝග වගා ටික බේරාගන්නටය.

දකුණු පළාතට පැය හතරක් හෝ විදුලිය කපා මේ තෙත් බිම් රැකගත යුත්තේ මුළු රටටම සාගින්න නිවන්නට මේ වගාව හේතුවන බැවිනි.

ඇත්තටම සමනලවැව ජලාශයේ විදුලි උත්පාදනය දැන් කොපමණද? විදුලිබල මණ්ඩලය නම් කියන්නේ ඉන් නිපදවිය හැක්කේ මෙගාවොට් එකක විදුලි බල ධාරිතාවක් පමණක් බවකි. මෙම සමනල වැව ජලාශයේ සමස්ත විදුලිබල ධාරිතාව මෙගාවොට් 120 කි. පෑවිල්ල නිසා එමගින් පසුගිය කාලේ නිපදවාගනු ලැබුවේ මෙගාවොට් 30 ක විදුලි බලයකි. එය දකුණු පළාතේ අඛණ්ඩ විදුලි සැපයුමට කෙලෙස බලපාන්නේ දැයි දන්නේ විදුලි ඇමැති කංචන විජේසේකර පමණක් වීමට පුළුවන. ගොවිබිම්වල විනාශයේ වටිනාකම රුපියල් බිලියන 30 කි. විදුලිය කැපීමෙන් වන පාඩුව රුපියල් බිලියන 1.7ක් යැයි කියති. තෝරාගත යුත්තේ කුමක්ද? උඩවලව ජලාශයෙන් දිස්ත්‍රික්ක තුනක ගොවිබිම් වෙත ජලය මුදාහැරේ. ඒ රත්නපුර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනය. කෘෂිකර්ම ඇමැති සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවද ගොවිබිම් විනාශ වී ඒ දෙස බලා සිටින්නේ ගොවි පුතුන් යැයි කියන මැති ඇමැතිලාට ශාප කරමිනි.

යල කන්නයට වගා කරන්නට කීවේ රජයේ නිලධාරීන්ය. උඩවලව ජලාශයෙන් ජලය ලැබෙන අක්කර 65,000 ක පූර්ණ භූමි භාගයේම කුඹුරු අස්වැද්දුවේ රජයේ උපදෙස් හා අවසරය පිට යැයි ගොවීහු පවසති. උඩවලව ජලාශයේ ජලය පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව දෛනික තොරතුරු ඇත. වියළි කාලගුණය පිළිබඳ අනාවැකි පළවිය. උඩවලව ජලාශය හරහා සමනල වැවේ ජලය වාරයක් දෙකක් මුදාහැරීමෙන් මේ කුඹුරු අක්කර 65,000ත් අතුරු භෝග වගාවත් බේරාගත හැක.

මේ වනවිට රජයේ ඇතැම් මැති ඇමැතිලා වගා හානි සිදුවූ පසු ගොවීන්ට වන්දි ලබාදීමට සැලසුම් සකසමින් සිටිති. ගොවීන්ගේ වගාබිම් විනාශ වන්නට ඉඩ හැර දකුණට අඛණ්ඩව විදුලි බලය දෙන්නට තවත් අය දඟලති. පවතින තත්ත්වය හමුවේ නියඟය තවදුරටත් දරුණු වී ගියහොත් යළි මුළු රටේම පැයක් දෙකක් විදුලිය කපා හැරීමේ අවදානමක්ද මතුවී ඇත. ඇඹිලිපිටියේ පිහිටි එස් (ACE) පවර් නමැති පුද්ගලික ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් සියයක් මිලදී ගන්නටද ලංවිම දඟලති. ඒ ගනුදෙනුවෙන් ඇතැම් අයට කොමිස් මුදල් ලැබෙන බවද කියති.

උඩවලව ජලාශයෙන් වතුර ගෙන ගොවිතැන් කළ ගොවිබිම් විනාශ වී යෑමට ඉඩදිය යුතු නැත. ඒ තරම් අමනෝඥ තීරණයක් මේ මොහොතේ ගන්නේ නම් පාලකයන්ට පමණක් නොව ආර්ථික අර්බුදයක ගිලී සිරවී සිටින පොදු ජනතාවට එය මරු පහරක් වනු නිසැකය. ලෝක ආහාර අර්බුදයක් පිළිබඳව විවිධ ප්‍රකාශ නැගෙන මොහොතක කුඹුරු බිම් ටික විනාශ වී යෑමට ඉඩ තැබීමෙන් මේ රටේ මිනිසුන්ට හාමතේ මිය දෙන්නට පාර කැපීමක් විය හැකි බව අපගේ විශ්වාසයය.

එනිසා පාලකයන් එකක් කල්පනා කළ යුතුය. සමනලවැවේ ජලය වාරයක් දෙකක් ගොවිබිම්වලට මුදාහැරිය යුතුය. ගොවිජනතා හඩට කන්දිය යුතුය. දහදිය හෙළා මහපොළව සමග ගැටී වගා කළ බිම්වල ගොයම් කරල් සරු සාරෙට වැඩී ඇත. ගොවිතැන දකින කල සිතට දැනෙන සැනසිල්ල පිළිබඳ මදක් කල්පනා කළ යුතුය. මේ අස්වනු නෙළා රජ වූ කිසිදු ගොවියෙක් නැත. ඔවුනට ඇත්තේ අස්වැන්න නෙළාගැනීමේ සියුම් ආත්ම තෘප්තිය පමණකි. ඒ වගාව විනාශවනවා යනු ගොවි මහතුන්ගේ ආත්ම තෘප්තිය විනාශ කිරීමකි. මේ ජල ප්‍රශ්නයෙන් සෙවනගල සීනි කර්මාන්තයත්, ඒ ආශ්‍රිත ගොවීන්ද කබලෙන් ළිපට වැටී සිටිති. එනිසා සමනල වැවේ ජලය උඩවලව ජලාශය හරහා ගොවිබිම් වෙත වහා ලබාදිය යුතුමය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අඟුණකොළපැලැස්සේදී මරු කතාවක් කර තිබිණි. ඒ කතාවේ කොටසකින් මේ සටහන අවසන් කරන්නේ එහි යමක් ගැබ්ව තිබෙන බැවිනි.

මාවිල්ආරු සොරොව්ව වසා ප්‍රභාකරන් කෙළවා ගත්තේ ගොවියාට අත තබා ගනිමිනි. හිටපු ජනපතිට යන්න වූයේත් ගොවියාට අත තබා වරද්දා ගත් නිසාය. මේ අයටත් වරදින්නේ ගොවියාට අත තැබූ දාටැයි ඒ කී කතාවය. ඒ තරමට ගොවියා ප්‍රබලය. මඩ සෝදාගත් කල ගොවියාත් රජකමට සුදුසුය.

ශිරාන් රණසිංහ


advertistmentadvertistment