විදෙස් ආයෝජන හා දේශීය කර්මාන්ත නගාසිටුවීමට ප්‍රමුඛතා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

147

රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරීම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (05දා) පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළඳාම අරඹයා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිමත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට සමගාමීව තවදුරටත් එම තරගකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් (Trade Adjustment Programme) රජය විසින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන සහ අපනයනාභිමුඛ සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමඟ නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළෙහි මූලිකාංගයකි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරම විශාල හා නැගී එන ආර්ථිකයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අපනයන වර්ධනය කර ගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ ප්‍රයත්නයක රජය මේ වනවිට යෙදී සිටී.

ඒ වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, විශාල සෘජු විදේශ ආයෝජන හා අපනයන විභවතාවයක් මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් අඩපණ වී ඇති දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම්, අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ අඩු වියදමකින් ලබාගත හැකි ක්‍රමෝපායික වශයෙන් වැදගත් ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි පණ ගැන්වීම මෙම කමිටුවෙහි ප්‍රධානම කාර්ය වී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතපති දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය, වාණිජ දෙපාර්තමේන්තුව යන රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


advertistmentadvertistment