පොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසිදු කරගෙන අහර වළඳා සුදු වත්හැඳ පොරවා සිල් සමාදන් විය යුතු ය.
සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසිදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නො පොරවා සිල් සමාදන් වූවාට ද වරදක් නැත.
සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇතිනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතු ය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වුව ද කළ යුතුය.
ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ ශීලය සික පදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතුය.
ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා, දවල් දානය ගන්නා වෙලාව පැමිණි කල්හි ආහාරය සැපයෙන තැනකට ගොස් සන්සුන්ව ආහාර කිස කොට නිමවා, ක්ලාන්ත ගතිය ඇතිනම් ඇසිල්ලක් සැතපී නැගිට පෙර සේ ම රත්නත්‍රය වැඳ පුදා, විවේක ස්ථානයකට එළඹ ශීලය මෙනෙහි කොට භාවනා කිරීම් ආදියෙහි යෙදී, සවස් වූ පසු කැමති නම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලය ද භාවනා කිරීම් ආදියෙන් හැකි තාක් කාලය ගත කොට සැතපී, පසු දින තුණුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මියගිය ඥාතීන්ට ද සියලු සත්ත්වයන්ට ද පින් පෙත් දී, තෙමේ ද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතු ය.
පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නො වන, සසර දික්වීමට හේතු නො වන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතු ය.
“ඉජ්ඣති භික්ඛවෙ! සීලවතො චෙතො
පණිධි විසුද්ධත්තා” යි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදු වන්නේ ද සිල්වතාට ම ය. දුශ්ශීලත්වය ප්‍රාර්ථනය සිදු වීමට බාධාවෙකි.
ජලයෙහි පියවි ඇසට නොපෙනෙන කුඩා සතුන් සමහර විට සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේ දී පැන් පෙරා පරිභෝගයට ගත යුතු ය.
අනුන් අයිති තණ පතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නො විචාරා නො ගත යුතු ය.
බ්‍රහ්මචරියාව පිරිසිදු වනු පිණිස ඖදාරික මෛථුනයෙන් පමණක් නො ව සප්ත මෛථුනයෙන් ම වැළකී විසිය යුතු ය.
කතා කරත හොත් සිල් රකිනවුන් විසින් හළ යුතු දෙතිස් කථාවට අයත් නො වන දැහැමි කතාවක් ම කළ යුතු ය.
ඉර මුදුනට එන්නට මත්තෙන් අහර වළඳා මුව පිරිසිදු කර ගත යුතු ය.
නැටුම් නො බැලිය යුතු ය. ගීත නාද තූර්ය නාද නො ඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑ කමින් බැලීම හා ඇසීම කිරීමෙනි.
තමා අන් කරුණක් සඳහා යන කල්හි අතර මග දී මුණගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කල්හි දැකීමෙන් හෝ ශීලය නො බිඳේ. (ගැයුම් වැයුම් පිළිබඳව ශීල භේදය වන සැටි ද ඒ නියායෙන් තේරුම් ගත යුතු ය.)
සුවඳ ඇඟ ගැල්වීම මල් පැළඳීම නො කළ යුතු ය. රන් රිදී ආභරණ ද මල් සංඛ්‍යාවෙහි ලා සැලකිය යුතුය.
එක් රියන් හමාරකට වඩා උස් පා ඇති අසුන්වල නො හිඳිය යුතුය. පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවල ද පුළුන් මෙට්ටවල ගුදිරිවල ද නො හිඳිය යුතු ය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නො හිඳිය යුතු ය.
ඇවිදීම අඩු කොට විවේක ස්ථානවල විසිය යුතුය.
රේරුකානේ චන්දවිමල නාහිමි
|