වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතුයි

114

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වැඩපිළිවෙළින් රාජ්‍ය අංශය කාර්යක්ෂම වෙලා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.

වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය පෙරේදා (18 දා) සිදුකෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමග ආර්ථිකය ඉදිරියට ගෙන යෑම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බවයි. එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනපතිවරයා අවධාරණය කළේය.

එසේම රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක්

ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

තවද ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ජයග්‍රහණ ලබාගත් සියලුම රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල සියයට 98කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද පැවසීය.

මෙහිදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම් අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය. ඒ අනුව, රාජ්‍ය ආයතන 833 ක් ඇගයීමට ලක් වූ අතර, 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන ද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන බැගින් සමස්ත සම්මාන 90 ක් පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment