විස්සයි – 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවැනි පුහුණුව අද

240

ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පුහුණු තරගය අද (31 වැනිදා) අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිතය.

එම තරගය ලෝන්ඩර්හිල්හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙවර ලෝක කුසලාන පුහුණු තරග වටයේදී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟින් පැවැති පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් අත්විඳ ගැනීමට සිදු විය.

එම තරගයේදී උපායශීලී පියවරක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ පන්දු යැවීමට දායක නොවීමද විශේෂත්වයකි.

නෙදර්ලන්තය මෙවර ලෝක කුසලානයේ මූලික වටයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවේ එක් ප්‍රතිවාදී කණ්ඩායමක් වීම ඊට හේතුව වන්නට ඇත.

මෙවර විස්සයි – 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ එළැඹෙන ජුනි මස 02 වැනිදාය. එම මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව ඇත. එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, නේපාලය, නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment