පාපන්දු  ලීග 52 කටම  ඉක්මන් නිලවරණයක් අවශ්‍යයි  – පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර්

84

මෙරට දැනට ක්‍රියාත්මක නීත්‍යානුකූල පාපන්දු ලීග 61 අතුරින් තවත් පාපන්දු ලීග 4ක් තමාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ බවත් ඒ අනුව පාපන්දු ලීග 61 න් 52 කම අවශ්‍යතාවය වන්නේ ඉක්මනින් නිලවරණයකට යෑම බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පසුගියදා පැවසීය.

 පසුගිය 22 වෙනිදා පැවැත්වූ විශේෂ මහසභා  රැස්වීමේදී නව ව්‍යවස්ථාව සම්මත කර  ගැනීමේදී එක් යෝජනාවකට පමණක් ලීග 61න් ලීග 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර සෙසු ලීග 48ක් එම යෝග්‍යතාවට පක්ෂව ඡන්ද ලබා දෙන ලදී.

 ව්‍යවස්ථාවේ අනිත් කරුණු ඒකමතිකව සම්මත වූ අතර අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදුන් ලීග 13න් තවත් ලීග 4ක් මෙසේ තමන් සමග එක්වූ බව හිටපු පාපන්දු සභාපතිවරයා සඳහන් කළේය.

 ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ දැනට පවතින අර්බුදය නිමා කිරීමට සහාය දැක්වීමට තමා සමග සාකච්ඡා කළ බවත් මේ වනවිට ලීග 61න් 52 ක් ඉක්මනින් නිලවරණයට යා යුතු බවට අවධාරණය කළ බවත් ජස්වර් උමාර් මහතා පැවසීය.

 තව දුරටත් පාපන්දු නිලවරණය නොපැවැත්වීම නිසා දිනෙන් දින ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තව තවත් අර්බුදයක් කරා යන බව මෙම පාපන්දු ලීගයන් පෙන්වා දුන් බවත් ජස්වර් උමාර් පැවසීය.

 විශේෂයෙන්ම දැනට පවතින පාපන්දු පාලනාධිකාරිය, අනෙකුත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් හා ලීගයන් අතර සාකච්ඡා මාර්ගයෙන් පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවන් එකඟතාවයන්ට පැමිණීමට කටයුතු කළත් අනෙක් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගෙන් හා ලීග කිහිපයක් පමණක් තමන්ගේ පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. ඒ හේතුවෙන් පාපන්දු නිලවරණය තවදුරටත් කල් යන බවත් එයින් සිදුවන්නේ පාපන්දු පරිපාලන කටයුතු තව තවත් සංකීර්ණ හා අර්බුදයකට තල්ලු වීම බවත්, අලුතින් තමා සමග එකතු වූ ලීග සඳහන් කළ බවත් ජස්වර් උමාර් මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment