වී අලෙවි මණ්ඩලය යළිත් ගෙනෙන්න

282

සම්පන් (හම්බන්) යාත්‍රා මගින් ඉන්දියාවේ සිට ගෙනා සහල් අතීතයේ දී සම්බා නමින් හඳුන්වන්නට යෙදුණි. මේවා ගෙන්වන ලද්දේ රජවරුන්ගේ පරිභෝජනයටයි. මුතු සම්බා, කයිවර සම්බා, කොත්තමල්ලි සම්බා, මීරිගම සම්බා, ශිරෝවල්ලි සහ සුවඳ සම්බා ආදී වශයෙන් ගම්බද භාවිතයට පවා පැමිණියේ රජ වාසලේ පරිභෝජන කාර්යයන් උසස් තැනක තිබුණු බැවිනි. වර්තමානය වන විට ඒ සම්බා වර්ග වගා කෙරෙන්නේ නැත. රතු කැකුළු සහ සුදු කැකුළු වශයෙන් හාල් ලබාදෙන ගම්බදව වගා කරන ලද වී වර්ග රාශියක් තිබුණු අතර ඒවා කැකුළෙන් ද තම්බා සකස් කිරීමෙන්ද ආහාරයට ගත්හ. වී අලෙවියක් සිදු නොවුණු අතර සහල් ලබා දී වෙනත් දේ හුවමාරු කිරීම කළහ. රට පුරා ගම්මැදිවල වී බිහි පිහිටා තිබුණු අතර විහාරස්ථානයන්හි සහ දේවාලවල විශාල වී ගබඩා විය. මේවායෙන් හතරෙන් එක් කොටසක් රාජ්‍ය භාණ්ඩාගාරයට හිමි විය. ගබඩාවල අස්වැන්න සියල්ල රජු වෙත ලබාදිය යුතු විය.

වී අලෙවි මණ්ඩලය යළිත් ගෙනෙන්න

බි්‍රතාන්‍ය පාලනයට රට නතු වූ පසු දහනව වන සියවසේ මැද භාගය වන විට වී වගා පනත (Paddy Cultivation act ) මගින් වී ගොවිතැන පාලනය කිරීමට ද අනතුරුව 1878 වසරේ ධාන්‍ය බදු ආඥා පනත මගින් අස්වනු රජය වෙත ලබා ගැනීමටද රජය උත්සුක විය. ඒ තත්වය මත ගාස්තුවක් රජයට ගෙවීමේ ක්‍රමය හෝ අස්වනු කොටසක් රජයට ලබා දීමේ ක්‍රමයක් මිස වී අලෙවියකට පරිසරයක් නිර්මාණය නොවුණි.විසිවන සියවස මුල් භාගයේ සිට කෘෂිකර්මය නවීකරණය විය. 1912 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවා නවීන ක්‍රම මගින් අස්වනු වැඩි කර ගැනීමට රජය ප්‍රයත්න දැරීමෙන් මහඟු ප්‍රතිඵල අත්විය. 1818 බිම් පාළු ප්‍රතිපත්තිය යටතේ විනාශ වූ වී ගොවිතැන නැවත ප්‍රාණවත්ව ඵල දරන්නට විය. අනතුරුව දෙමුහුන් බීජ හඳුන්වා දීමත් රසායනික පොහොර ලබා දීමත් මගින් අස්වනු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන්නට විය. හැත්තෑව දශකය වන විට මෙලෙස වැඩි වූ අස්වනු මිලදී ගැනීමේ අවශ්‍යතාවය තදින් දැනුණි. ඒ අනුව 1971 අංක 14 නමින් පනතක් සම්මත කොට 1972 දී වී අලෙවි මණ්ඩලය පිහුටුවනු ලැබිණ. මෙහි අරමුණ වූයේ රටේ පාරිභෝගිකයා වෙනුවෙන් ආරක්ෂිත තොග රැස් කිරීමයි. අස්වනු රැස් කිරීමට සමත් වී ගබඩා ඇති කිරීම, වී කෙටීම, සහල් බවට පත් කිරීම සමුපකාර හරහා ජනතාවට ඒවා ලබාදීම මෙහි අරමුණු අතර විය. කෘෂි නිෂ්පාදකයා සහ

පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම තුළින් වෙළෙඳ පොළ යාන්ත්‍රණයක් සිදු කිරීම මෙහි මෙහෙවර විය. ඒ වකවානුවේ වී කෙටීම පිළිබඳ ලෝකයේ තාක්ෂණික වශයෙන් දියුණු තත්ත්වයක් තිබී නැත. පළමු වරට එකවර වී කොටන වේලන යන්ත්‍රයක් නිර්මාණය කර පලුගස්දමන සමුපාකාර පරිශ්‍රයේ ක්‍රියාත්මක කරන ලද්දේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ හියුබට් ප්‍රනාන්දු නම් මහත්මයෙකුගේ නව නිර්මාණයක් ලෙසිනි. නමුත් අවාසනාවකට මේ යන්ත්‍ර සූත්‍ර ලංකාව තුළ දියුණු කිරීම වෙනුවට විවෘත ආර්ථිකය තුළ අධෛර්ය කිරීම සිදු විය. ඉහත කී වී මෝල් තාක්ෂණය ඉන්දියාවට පැවරිය යුතු බවට අදාළ ශිල්පියාට ඇමැතිවරයා විසින් බල කරන ලද්දේය. ඔහු එයට නොකැමති වුවද ඉන්දියාව ඇතුළු ආසියාතික වී මෝල් තාක්ෂණය දියුණු වීමට මෙම නිර්මාණය හේතු වූ බව මෙහි සටහන් කර තැබිය යුතුය.

ලෝක බැංකුවෙන් ණය ගැනීම සහ ඔවුන්ගේ කොන්දෙසිවල ප්‍රතිඵලයක් වශයෙන් 1999 ජූනි 14 දින වී අලෙවි මණ්ඩලය අහෝසි කරලීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් විය. එය ඉදිරිපත් කරන ලද්දේ එවකට සිටි කෘෂිකර්ම ඇමැති දි.මු. ජයරත්න විසිනි. එයට අනුමැතිය හිමි වූ අතර වී අලෙවි මණ්ඩලය සතු ගබඩා විකිණීමටත් ඇතැම් ඒවා කුලියට දීමටත් 1999 මාර්තු 14 දිනට සේවයේ නියුතුව සිටි සියලුම සේවකයන්ට වන්දි ගෙවා සේවය අවසන් කිරීමටත් යෝජනා විය. මේ අනුව වී අලෙවි මණ්ඩලය ඈවර කිරීමේ පනත් කෙටුම්පතක් 2001 අප්‍රියෙල් 05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුදු ඒ වන විට සේවකයන් විසින් පැවරූ නඩු කටයුතු නිසා ද මහජන නියෝජිතයන්ගේ විරෝධය නිසා ද පනත් කෙටුම්පත සම්මත නොවුණි. ඒ අනුව 1999 සිට 2008 වර්ෂය දක්වාම මෙම ආයතනය අකර්මණ්‍යව පැවතුණි. නැතිනම් ස්වභාවික මරණයකට ලක් වන්නට ඉඩ හැර තිබුණි. ඒ අතර 2006 පෙබරවාරි 16 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර වී අලෙවි මණ්ඩලය වෙනුවට කෘෂි නිෂ්පාදන අලෙවි අධිකාරිය නමින් ආයතනයක් ඇති කිරීමට අනුමැතිය හිමිව තිබුණි. නමුත් එම සැලසුම ක්‍රියාත්මක නොවීය. පසුව 2007 ජූලි 10 දින සිට වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කොට පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබුණි. ඒ අනුව 2008 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වාම රජය විසින් නැවත වී මිලදී ගෙන තිබුණු අතර මේ සඳහා බැංකුවලින් ණය ගැනීම, භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීම ආදිය සිදුව තිබුණි. ඒ අතර සහල් පිටි කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමටත් ලෝක ආහාර වැඩසටහනට සහල් ලබා දීමටත් වී අලෙවි මණ්ඩලයට හැකියාව ලැබුණි. නමුත් 2015 යහපාලන රජය පත් වූ පසුව යළිත් වී අලෙවි මණ්ඩලයට නරක දශාවක් ලැබුණි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති වී අලෙවි මණ්ඩලයේ තොග බැහැර කිරීම තීරණය කරන කමිටුවේ ගත් තීරණයක් මත වී කිලෝවක් රුපියල් 24 ගණනේ සත්ව ආහාර වශයෙන් සහ සහල් පිටි සකස් කිරීමට අලෙවි කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 මාර්තු 02 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් නාඩු මෙටි්‍රක් ටොන් 914,1685 ක් බැහැර කර ඇත. 2026 ජූලි 27 දින තවත් තීරණයක් ගෙන ඇති අතර පෙර කන්නවල මිලදී ගත් වී තොග බැහැර කිරීමේ ප්‍රතිපත්තිය මත රුපියල් 45ට මිලදී ගත් වී කිලෝව රුපියල් 42 බැගින් වී මෙටි්‍රක් ටොන් 595 ක් මෙන්ඩිස් සමාගමට බීර නිෂ්පාදනයට නිකුත් කර ඇත. 2014/2015 මහ කන්නයේ දී රුපියල් 45 බැගින් මිලට ගත් නාඩු වී මෙටි්‍රක් ටොන් 8,861,591 ක් කිලෝව 24 ගණනේ අලෙවි කිරීම නිසා වී අලෙවි මණ්ඩලය ලද පාඩුව රුපියල් මිලියන 248,361 ක් විය.

1972 සිට සංවර්ධනය වූ වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා 210 ක් පවතින අතර එහි වී මෙටි්‍රක් ටොන් 233,632 ක් ගබඩා කළ හැකිව තිබුණි. ඊට අමතරව සමුපාකාරය සහ තවත් බාහිර ආයතන සතුව ගබඩා 172 ක් පවතින අතර එහිද වී මෙටි්‍රක් ටොන් 129,315 ක් ගබඩා කළ හැකිය. ඒ අනුව සමස්ත ගබඩා සංඛ්‍යාව 382 ක් වන අතර වී මෙටි්‍රක් ටොන් 362,947 ක් ගබඩා කළ හැකිය. මේ සංඛ්‍යාව සමස්ත වී අස්වැන්නෙන් සියයට පහකට අඩුවන නමුත් ආරක්ෂිත තොගයක් වශයෙන් පවත්වාගෙන යෑමටත් අඩු ආදායම් ලාභීන්ට සහන මිලට සහල් සකස් කර දීමටත් වී අස්වැන්න අඩු වූ විට වී නිදහස් කිරීමටත් ප්‍රමාණවත් වෙයි. එහෙත් මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය විවිධ අන්දමින් පැන නැග තිබූ අතර අධික ණය බර, වැරදි දේශපාලන තීන්දු තීරණ මත වන අසාර්ථකවීම් සහ ගබඩා යාවත්කාලීන නොවීම වැනි කරුණු නිසා රජයේ වී අලෙවි වැඩසටහන් සාර්ථක මට්ටමකට පත්ව නොමැත. වී අලෙවි මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉහත කී කරුණු හෙළි වන්නේ 2018 වසරේ දී විගණකාධිපතිවරයා විසින් වී අලෙවි මණ්ඩලය අරභයා සිදු කර ඇති විගණන වාර්තාවෙනි.

මේ අතර සෑම වර්ෂයකම අතිරික්ත වී ගබඩාවල තිබියදී සහල් ආනයනය කිරීමට රජය අවසර දී ඇත. වී අස්වැන්න මෙටි්‍රක් ටොන් විසිපන්දහසට අඩු වන විට යම් හිඟයක් ඇති විය හැකි වුවද එසේ නොමැති වූ විටදී පවා එවැනි ආනයනයකට අවසර දී තිබේ. ඊට හේතු අතරින් සහල් ආනයනයෙන් රජයට ලැබෙන බදු ආදායම ද පෞද්ගලික සහල් ආනයනකරුවන් වෙත වෙළඳ පොළ ලාභය අත්පත් කර දීම සඳහා වන පෙළඹවීමද දක්නට හැකිය. මන්ද අපනයන කරුවන්ට සහ මොල් හිමියන් යන දෙකොටසටම ණය ලබා දෙන්නේ බැංකු වන බැවිනි. මුදල් සංසරණය මූලික කරගත් ආර්ථිකයක නිෂ්පාදන වටිනාකමට වඩා මූල්‍ය වර්ධනය වැදගත්ය. ඒ මගින් ඇතිවන සේවා සැපයුම වැදගත්ය. වර්තමාන මාලිමා ආණ්ඩුව පත් වූ පසු ද අතිරික්ත වී තොග තිබියදී සහල් ආනයනය කිරීමට අවසර දී ඇත. 2024 වර්ෂයේ සහල් ආනයනය නිසා රජයට බදු ආදායම වශයෙන් කෝටි හාරසිය පණහක පමණ මුදලක් ලබාගෙන තිබේ. ඉතිරි සහල් තොග ලංකාවට පැමිණෙන විට බදු ආදායම කෝටි දහස ඉක්මවා යා හැකිය. එක් පැත්තකින් රටේ වී වගාවෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්ව සිටින අතර එය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 0.7ක පහළ මට්ටමක රඳා පවත්වාගෙන යයි. 1982 වැනි කාලයක වී වල ප්‍රතිශතය ගත් කල්හි වර්තමානයේ එය වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. එම සංඛ්‍යා ලේඛන පුදුම සහගතය.

පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන් සිය ධාරිතාව වැඩි කරමින් නව තාක්ෂණය සමග බද්ධ වෙමින් ඉදිරියට ගොස් ඇති අතර බැංකු ණය සේවාවන් ඔවුන් වෙනුවෙන් වඩාත් හිතකර අන්දමින් ක්‍රියාත්මක වේ. වෙළෙඳ පොළ තුළ සම්බා සහ නාඩු රුචිකත්වයක් කෘතිමව නිර්මාණය කර ඇති පසුබිමක ඔවුන්ට සහල් පිළිබඳ ඒකාධිකාරය තවදුරටත් පවත්වාගෙන යා හැකිය. වෙළෙඳ පොළ බලවේග තුළ ලාභය සියල්ලන්ටම ඉහළින් පවතී. වී යනු තවත් භාණ්ඩයකි. ගොවියා ද ඊට අනුගතව තම ලාභය සඳහා මොල් හිමියන් හා බැඳී සිටී. ගෝඨාභය ජනපතිවරයාගේ කාලයේදී වස විස නැති ගොවිතැන ප්‍රචලිත කිරීමට ගත් තැතට ප්‍රතිවිරෝධතාවයක් මතු වූයේ මේ වෙළෙඳ පොළ බලවේග විසින් සිදු කළ සූක්ෂම ක්‍රියාවලිය හේතු කොට ගෙනයි. ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය විසින් උලුප්පන ලද ව්‍යාජයන් ඉතාමත් නරක අන්දමින් සමාජ ගත විය. වස විස ගැසීම ඒවා සහිත දේ ආහාරයට ගැනීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. කෘෂි රසායන නිසා නරි ගහනය වඳ වීමකට ලක්ව තිබීමෙන් මොනර ගහනය වර්ධනය වී තිබේ. ඒ නිසාම යළි ගොවියාට හානි කර ප්‍රතිඵල ලැබී ඇත.

රාජ්‍ය ව්‍යවසායක් ලෙසට වී අලෙවි මණ්ඩලය ප්‍රතිසංවිධානය කර පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගැනීමට ඉහත දක්වන ලද කරුණු වුව ප්‍රමාණවත්ය. ඉතා ඉක්මනින් 2018 විගණකාධිපති වාර්තාව මත ප්‍රකාශ තිබෙන දේ වටහාගෙන පිළියම් යෙදීමට උත්සාහ දැරුවහොත් අභියෝගයට සාර්ථක ලෙසට මුහුණ දිය හැකිය. නමුත් මේ වසල වෙළඳ පොළ වෙනස් කිරීමට නම් සාර්ව ආර්ථික ක්‍රමයේ පූර්ණ වෙනසක් අවශ්‍ය වනවා නිසැකය.

● මතුගම සෙනෙවිරුවන්


advertistmentadvertistment