වෙඩිතලතිව් රක්‍ෂිතයේ කොටසක් වෙන් කර දුන් පවිත්‍රාගේ ගැසැට්ටුවට තහනමක්

469

විල්පත්තුව රක්‍ෂිතය ආශ්‍රිතව පිහිටි වෙඩිතලතිව් රක්‍ෂිත කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කර දෙමින් වනජීවී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පරිසර ආරක්‍ෂණ පදනම් ආයතනය ඇතුළු පරිසර ආරක්‍ෂණ සංවිධාන දෙකක් ගොනුකර තිබූ එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදුන් ප්‍රීති පද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න හා අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

වෙඩිතලතිව් ජාතික රක්‍ෂිතයේ සැලකිය යුතු කොටසක් ජාතික රක්‍ෂිත භාවයෙන් ඉවත් කරමින් නිකුත් කළ එකී ගැසට් නිවේදනය මගින් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවන බවත් විශේෂයෙන්ම ජලජ ජීවීන්ගේ සුරක්‍ෂිත භාවයට මෙන්ම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවයටත් එමගින් දැඩි හානියක් සිදුවන්නේ යැයි එකී පාරිසරික සංවිධාන සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි.

විෂය භාර අමාත්‍යවරිය එකී ප්‍රදේශය රක්‍ෂිත භාවයෙන් ඉවත් කර ඇත්තේ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකිරීමෙන්. එනම් විශේෂ විද්‍යාත්මක වාර්තා ලබාගැනීමකින් තොරව වන්නේ යැයිද එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා හා නීතිඥ සචිනි සෙනෙවිරත්න මහත්මිය අධිකරණයට පැවසූහ.

මේ වනවිට රක්‍ෂිතයක් ලෙස නම් කර ඇති යම් ප්‍රදේශයක් රක්‍ෂිත භාවයෙන් ඉවත් කිරීමට පෙර සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතේ දෙවන හා පස්වන වගන්ති යටතේ ගතයුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය කර නොමැති බවද පෙත්සම්කරුවන් එමගින් අධිකරණයට කියා තිබිණි.

වනජීවී හා වනසංරක්‍ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, පරිසර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, වන සංරක්‍ෂණවරයා, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු 10 දෙනකු එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි. කාංචනා එස්. බාලචන්ද්‍රන් මෙනවිය මගින් සෙන්ටර් ෆෝ එන්වයර්මන්ට් ජස්ටින් ග්‍රැරන්ට් ලිමිටඩ් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දේශානි ගුණතිලක, අමායා ප්‍රනාන්දු, සචිනි සෙනෙවිරත්න යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න මහතා පෙනී සිටියේය. වනජීවී හා පරිසර ආරක්‍ෂණ සංගමය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment