වෙල්ලිමුල්ලි වයික්කාල්වල මියගිය සිවිල් වැසියන් සිහිකර සැමරුම් උත්සවයක් වැල්ලවත්තේදී

35

යුද්ධය අවසන් වූ 2009 මැයි 18 වැනි දින වෙල්ලිමුල්ලි වයික්කාල්වලදී මියගිය සිවිල් පුරවැසියන් සිහිකිරීමේ උත්සවයක් මහජන විරෝධය මැද ඊයේ (18දා) කොළඹ වැල්ලවත්තේදී පැවැත්වුණි.

වැල්ලවත්ත මුහුදු තීරයේදී පැවති මෙම උත්සවයට ද්‍රවිඩ දේශපාලන නායකයන්, ක්‍රියාකාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී ඔවුන්ගේ ආගමික සංස්කෘතික වතාවත්වල නියැළෙමින් විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙම සැමරුම් උත්සවය පැවැත්වුණි.

වක්‍රාකාරව ත්‍රස්තවාදී සැමරුමක් යැයි චෝදනා කරමින් ඊට එරෙහිව පියවර නොගත්තේ මන්දැයි විවේචනය කරමින් තවත් පිරිසක් මෙම සැමරුම් උත්සවයට එරෙහිව හඬ නැඟූ අතර මහජන ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කණ්ඩායමක් එම පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා තිබිණි.

මෙම සැමරුමට එරෙහිව විරෝධය පෑ ජනතාව කියා සිටියේ මේ ස්ථානයට ආසන්න දෙහිවල බෝම්බ පිපිරීමෙන් පාසල් දරුවො ඇතුළු අහිංසක මිනිසුන් සිය ගාණක් මියගියා. ඒවා සමරන්න මේ අය ආවේ නෑ. මේ රට රැක දුන්නෙ නිල ඇඳුම ඇදගත් රණවිරුවො. ඒ වීර රණවිරුවන් අපකීර්තියට පත් කරන්න ත්‍රස්තයන්ට උඩගෙඩි දෙන මෙයාලට අවසර දුන්නෙ කවුද? රණවිරුවො යුද්ධයේදී උතුරේ කොහේදිවත් සිවිල් වැසියො ඝාතනය කළේ නෑ. මෙම සැමරුම නවත්වන්න ඕන. මෙයට ආණ්ඩුවට ක්‍රියාකරන්න ඕන යැයි විරෝධය පෑ ජනතාව කියා සිටියහ.

මේ අතර මෙම සැමරුම් උත්සවය සංවිධානය කළ ක්‍රියාකාරීහු මාධ්‍ය හමුවේ මෙසේ කියා සිටියහ.

“2009දී යුද්ධයේදී මියගිය ජනතාව විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව විශාල වශයෙන් මැරුණා. එයාලට උන්හිටි තැන් නැති වුණා. තුවාල වුණා. බලෙන් අතුරුදන් කළා. මේක නිදහසට පෙර සහ පසු රජය විසින් සැලසුම් සහගතව ද්‍රවිඩ ජනතාවට එල්ල කරපු ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියටයි.

ශ්‍රී ලාංකික පුරවැසියො හැටියට මෙම අයුක්තියට එරෙහිව රාජ්‍යයත් එල්ල කරපු මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට වගකියන්න ඕන. යුක්තිය ඉෂ්ට කරන්න ඕන කියන එකට බලපෑම් කිරීම සඳහා මෙම මුල්ලිවයික්කාල් අනුස්මරණය මෙම ස්ථානයේ කරනු ලබනවා” කීහ.
ධම්මික සල්වතුර


advertistmentadvertistment