ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයෙන් ඉවතට විසි වේ

1027

නවසීලන්තයත් ඉවතට ඇෆ්ගනිස්තානය සුපිරි 8 ට

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවී යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉරණම උදා වූ අතර ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉවතට යෑම නිල වශයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

2014 වසරේ පැවති පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ එමෙන්ම ඊට පෙර ලෝක කුසලාන අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සුපිරි 8 වටයට පිවිසීමට නොහැකි වූයේ මූලික වටයේ පළමු තරග දෙකම පරාජයට පත් වීම හේතුවෙනි.

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සමගින් පැවති තරග දෙකේදීම ශ්‍රී ලංකාවට පරාජය අත් වූ අතර නේපාලය සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයෙන් ඉවතට විසි වේ

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා “ඩී” කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මේ වනවිට එම කාණ්ඩයේ 5 වැනි හෙවත් අවසන් ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වන අවසන් තරගය අනිද්දා නෙදර්ලන්තය සමග පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා පෙ.ව. 6.00 ට පමණ එම තරගය ආරම්භ වීමට නියමිත වේ.

එමෙන්ම ඇෆ්ගනිස්තානය ඊයේ පැපුවානිව්ගිනියාව සමග පැවති තරගයෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් ලැබීමත් සමග නවසීලන්තයටද මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට පිවිසීමට නොහැකි විය.

එමෙන්ම එම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්තානය සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලැබූ 5 වැනි කණ්ඩායම බවට පත් විය.

මෙවර තරගාවලියේ දී “සී” කාණ්ඩය යටතේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට ඇෆ්ගනිස්තානය ඊයේ පත් වූ අතර ඒ සඳහා එම කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි.

මෙම කණ්ඩායම් දෙකට අමතරව ඉන්දියාව ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව මෙවර සුපිරි 8 වටයට පිවිසීමට වරම් ලබා ඇත.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සිට

advertistmentadvertistment
advertistmentadvertistment