ශ්‍රී ලංකාව ව්‍යවසායක රාජ්‍යයක් කිරීම අපේ අරමුණයි – දිලිත් ජයවීර

1

ශ්‍රී ලංකාව ව්‍යවසායක රාජ්‍යයක් කිරීම තම අරමුණ බවත් ඒ ගැන දැනුවත් කිරීමට ඉදිරියේදී සෑම ග්‍රාමසේවා වසමකටම පැමිණෙන බවත් සමහර පිරිස් මොනතරම් මඩ ගැහුවත් අප සමග ඉන්නේ රට ගැන හිතන නිර්මල අවංක පිරිසක් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සර්ව ජන බලය එකමුතුවේ ඉදිරිවැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ගාල්ල නගර ශාලා භූමියේ පැවති ජන හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේද කීය. “අපේ අරමුණ ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීමයි. ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කළ යුතුයි කියන අරමුණ පටන් ගත්තේ ගාල්ලෙනුයි. ඊට පසුව කාන්තා සවිබල ගැන්වීම පටන් ගත්තා. ගාල්ලේ මට ලොකු අයිතියක් තිබෙනවා.

ඒ වගේම රිචඩ් පතිරණ මැතිතුමාට මගේ විශාල ගෞරවයක් තියෙනවා. එතුමා වම නියෝජනය කළ පුද්ගලයෙක්. එනිසා මම අද ගාල්ලේ ඉඳල මම හොඳින් දන්න අපේ රමේෂ් මල්ලිටත් ආරාධනා කරනව අපත් සමග එක්වී නිවැරදි මාවත තෝරා ගන්න කියලා.

මම පසුගිය කාලයේ මන්ත්‍රිවරු එකසිය අනූ තුනකට කතා කළා. පසුව පනස් තුන් දෙනෙකුට කතා කළා. නමුත් කියන්න කණගාටුයි ඒ අය වරදාන වරප්‍රසාද සඳහා තමන්ගේ ප්‍රතිපත්ති පාවාදීලා. හැබැයි කවුරු මොන කතා කිව්වත් මව්බිම ගොඩනඟන්න තමයි අප උත්සාහ කරන්නේ. අපේ ජීවිත කාලයේදී තීරණාත්මක වෙනසක් ඇතිකර ඔබ බලාපොරොත්තු වන සතුටු දැයක් අප නිර්මාණය කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා, “සුබ අනාගතය පෝස්ටරය හැට නම ලක්ෂයේ ජන වරමට අයිති එකක් නොවෙයි. සුබ ආරංචිය නම් අමාරුවෙන් හදාගත්ත ගෙටත් බද්දක් ගහන්න යනවා. රනිල් යන්නේ ජාත්‍යන්තර අරමුදල හදල දුන්න වැල් පාලමේ. ඔය පාලමෙන් එගොඩ වූ රටක් නැහැ.

අපට ගෙවන්න තියෙන විදේශ ණයවලින් සියයට හැත්තෑ තුනක් බැඳුම්කර ණයයි. ඉතිරි සියයට ගණන තමයි ද්විපාක්ෂික ණය. බැඳුම්කරයේ ලොකුම පංගුව එකතු කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා තමයි අර්බුදයේ පියා. දැන් රට යන්නේ ආජන්ටිනාව ගිය පාරේ. ආජන්ටිනාව නැවත නැවත හතර ගාතෙන් වැටුණ රටක්.”

මව්බිම ජනතා පක්ෂයේ සභාපති හේමකුමාර නානායක්කාර මහතා, හැට නම ලක්ෂයක් ලොකු බලාපොරොත්තුවක් ඇතිව ඡන්දය දුන්නා. ඒත් එය නිකම්ම නිකම් පුස්සක් වුණා. වරාය ටෙලිකොම් ආදී ආයතන විදේශිකයින් සතු කරනවාට අපි කැමති නැහැ. ඒවා ස්වදේශිකයින් සතු විය යුතුයි. එනිසා තමයි ව්‍යවසායකත්වය තුළින් අලුත් රටක් ගොඩනැඟිය යුත්තේ. එයට අපි සියලු දෙනා එක්ව මව්බිම වෙනුවෙන් පෙළ ගැසෙමු.” නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහුද රැළිය ඇමතූහ.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment