කෝටි දහයේ පැටිකිරිය සොයයි – රාජාංගනයේ හිමි 5 දා තෙක් යළි රිමාන්ඩ්

177

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කර ආකාරයෙන් ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජාංගනේ සද්ධාතිස්ස හිමියන් ලබන 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21 දා) නියෝග කළේය.

සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම්වලට පසුගිය කාලයේ විදේශවලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් සැක සහිත ලෙස ලැබී ඇති බැවින් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයෙන් වාර්තා කැඳවා වැඩිදුරටත් විමර්ශන සිදුකරනා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා ඊයේ (21දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පැවසීය. එකී කෝටි දහයකට අධික මුදලින් කෝටි තුනහමාරක්ම ලැබී ඇත්තේ ගෝතමාලා රාජ්‍යයේ පිහිටි බැංකු ගිණුමකින් වන්නේ යැයි ද එහිදී අධිකරණයට පැවසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එකී මුදල් ආගමික සංහිඳියාවට හානිකර කටයුතු වර්ධනය කිරීම සඳහා ලැබී ඇති දැයි අනාවරණය කර ගැනීම සඳහා ද විමර්ශන සිදුකරනා බව ද අධිකරණයට පැවසීය.

පෙරකී කෝටි දහයකට අධික මුදලට අමතරව සැකකාර භික්ෂුන් වහන්සේ නමින් තවත් ගිණුම් කිහිපයකට ජර්මනිය, ඔස්ටේ්‍රලියාව යනාදී රටවලින් ද මුදල් ලැබී ඇති බවත් මෙකී සියලු මුදල් කුමන කරුණු සඳහා භාවිත කළේ දැයි අනාවරණය කර ගැනීම සඳහා විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකිරීමට ඇති බවත් පොලිස්පතිවරයා පැවසීය. සැකකාර භික්ෂුන් වහන්සේට මුදල් ලැබී ඇති බව පැමිණිල්ල ප්‍රකාශ කළත් එම මුදල් කුමන කරුණු සඳහා වැය කළේ දැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට හෙළි කර නැතැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු එහිදී අධිකරණයට පැවසූහ. උන්වහන්සේ එම මුදල් විහාරස්ථානයේ දියුණුව සඳහා වැය කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරු අධිකරණයට පැවසූහ.

උගත් ජනාධිපති නීතිඥවරුන් පැවසූ එම කරුණු පිළිගත නොහැකි බවත් එම විහාරස්ථානයේ ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ගොඩනැඟිලි බහුතරයක් එක් එක් පරිත්‍යාගශීලින් හා ආයතන ඔවුන්ගේ දායකත්වයෙන් ඉදිකර ඇති බව මේ වනවිට සිදු කර ඇති විමර්ශන අනුව හෙළි වී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට පැවසීය. එකී මුදල්වලින් සුළු කොටසක් විහාරස්ථානයේ කටයුතුවලට යොදා ගෙන ඇතැයි ද සේනාරත්න මහතා පැවසීය.

ගෝතමලාවෙන් එලෙස රුපියල් කෝටි 3 1/2 ක් වැනි විශාල මුදලක් ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් පවසා සිටියත් එම මුදල් සැකකාර භික්ෂුන් වහන්සේට ලබාදී ඇත්තේ ඇමරිකාවේ පදිංචි ඇඟලුම් කර්මාන්තශාලා හිමියකු විසින් බවත් එම පරිත්‍යාගශිලියාට ගෝතමාලාවේද බැංකු ගිණුම් ඇති බවත් රාජාංගනේ සද්ධාතිස්ස හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ.

ජෙරම් ප්‍රනාන්දු වැනි බුදු දහමට එරෙහි ප්‍රකාශ කරන පිරිසට පහරදී ගෙවල් ගිනිතැබිය යුතු බවට සැකකාර ස්වාමීන් වහන්සේ කර ඇති ප්‍රකාශ අනුව උන්වහන්සේගෙන් මුදල් ලබාගත් පිරිසට ක්‍රියාත්මක විය හැකි බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment