ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 6ක විශිෂ්ට ජයක්

216

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති ප්‍රථම එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ 1- 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී (15දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි 1ක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 195ක් ලබාගැනීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34යි 1ක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 198ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

පන්දුවට පහරදීමේදී බ. ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායිකා හේලි මැතිව්ස් ලකුණු 38ක්, ස්ටෙෆනි ටේලර් ලකුණු 33ක් සහ ෂෙමේනි කැම්බල් ලකුණු 27ක් ලැබීය.

පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 30කට කඩුලු 3ක්, කවීෂා දිල්හාරි ලකුණු 41කට කඩුලු 3ක්, අචිනි කුලසූරිය ලකුණු 30කට කඩුලු 1ක් සහ චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු 1ක් බිඳ හෙළීය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 44ක්, හසිනි පෙරේරා ලකුණු 43ක්, විශ්මි ගුණරත්න 40ක්, නායක චමරි අතපත්තු 38ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අෆී ප්ලෙචර් ලකුණු 31කට කඩුලු 2ක් සහ ඒලියා ඇලන් ලකුණු 22කට කඩුලු 2ක් බිඳ හෙළීය.

පන්දු යැවීමේදී ලකුණු 30කට කඩුලු 3ක් දවාගත් සුගන්දිකා කුමාරි තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබීය.

ලකුණු සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47.1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 195යි.

හේලි මැතිව්ස් 38, ස්ටෙෆනි ටේලර් 33, ෂෙමේනි කැම්බල් 27.

(සුගන්දිකා කුමාරි 30-3, කවීෂා දිල්හාරි 41-3, අචිනි කුලසූරිය 30-1, චමරි අතපත්තු 21-1.)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34.1ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 198යි.

හර්ෂිතා සමරවික්‍රම 44, හසිනි පෙරේරා 43, විශ්මි ගුණරත්න 40, නායක චමරි අතපත්තු 38.

(අෆී ප්ලෙචර් 31-2, ඒලියා ඇලන් 22-2)

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment