ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමට 07 වැනි තැන

17

ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු 06 වැනි “ආසියානු හොකී සම්මේලන කුසලාන” පිරිමි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට 07 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති තීරණාත්මක තරගයේ දී ගෝල් 06 – 04 ක ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් මෙවර 07 වැනි ස්ථානය තහවුරු කර ගත්තේය. එකී 08 වැනි ස්ථානය තායිලන්තය සතු විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙණුනු ධම්මික රණසිංහ 02, අනුරාධ සුරේෂ් 01, ප්‍රමෝද්‍ය උදයශන් 01, කුසල් තිලකසිරි 01 සහ සඳරුවන් ප්‍රියලංකා 01 බැගින් ගෝල් රැස් කළහ.

පිරිමි තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු 05 වැනි කාන්තා තරග මාලාවේ 05 වැනි ස්ථානය ශ්‍රී ලංකාව සතු විය. ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පැවති තීරණාත්මක තරගයේ දී දඬුවම් පහර (08 SECONDS PENALTY SHOOT OUT) ආශ්‍රිතව ගෝල් 03 – 01 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. මිනිත්තු 60 ක් පුරා පැවති තරග කාලය තුළ දෙපිලම ගෝල් 03 – 03 බැගින් සටහන් කර ගෙන තිබීම හේතුවෙන් ජයග්‍රාහිකාවන් තෝරා ගැනීම උදෙසා දඬුවම් පහර උපයෝගී කර ගැනීමට සංවිධායකයින්හට සිදු විය.

තරග කාලය තුළ ෂෙහානී ප්‍රනාන්දු 01, ඉමේෂා වීරබාහු 01 සහ නිපුනි ප්‍රනාන්දු 01 බැගින් ගෝල් රැස් කළ අතර ෂෙහානී, සමදරා සහ විමුක්නීති තම දඬුවම් පහර ප්‍රතිවාදී ගෝලයට යොමු කරමින් කැපී පෙණුනි.

මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මූලික වටයේ දී “බී” කාණ්ඩයේ 04 වැනි ස්ථානයට පත් විය.

තරග 04 කට සහභාගී වූ ශ්‍රී ලංකාවට ජය ගත හැකි වූයේ ගෝල් 02 – 01 ක් ලෙස සත්කාරක ඉන්දුනීසියාව සමග තරගය පමණි. තායිලන්තය සමග ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරගත් ශ්‍රී ලංකාව ප්‍රතිවාදී බංග්ලාදේශය හමුවේ ගෝල් 05 – 00 ක් ලෙස ද කසකස්තානය හමුවේ ගෝල් 03 – 02 ක් ලෙස ද පරාජය ලැබීය. අනතුරුව පැවති 05 සිට 08 දක්වා ශ්‍රේණිගත කිරීමේ වටයේ දී හොංකොං දේශය හමුවේ 05 – 04 ක් ලෙස පරාජය විය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය තරගාවලියේ දී ලත් ලෝකඩ පදක්කම ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම කැපී පෙණුනි. 2016 රිදී පදක්කම ද 1997, 2002, 2012 සහ 2022 වසර වල දී ලෝකඩ පදක්කම ද 2008 වසරේ සිව් වැනි ස්ථානය ද ශ්‍රී ලංකාව තහවුරු කරගෙන තිබිණි.

මෙවර කාන්තා තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සඳහා එක්ව සිටි රටවල් සංඛ්‍යාව 06 කි. එහි දී තරග 02 ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරගත් ශ්‍රී ලංකාව තරග 03 ක් පරාජයට පත් විය. සත්කාරක ඉන්දුනීසියාව සමග ගෝල් 02 – 02 ක් ලෙස ද උස්බෙකිස්තානය සමග ගෝල් 02 – 02ක් ලෙස ද ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ශ්‍රී ලංකාව චීන තායිපේ රාජ්‍යය හමුවේ ගෝල් 05 – 01 ක් ලෙස ද සිංගප්පූරුව හමුවේ ගෝල් 05 – 02 ක් ලෙස ද හොංකොං දේශය හමුවේ ගෝල් 05 – 00 ක් ලෙස ද පරාජය ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2016 වසරේ දී ලත් 06 වැනි ස්ථානයට වඩා එක් පියවරක් පසුපසට යන්නට මෙවර සිදුවිණි. 2003 වසරේ දී රිදී පදක්කම ද 1997 සහ 2012 දී සිව්වැනි ස්ථානය ද තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙවර පිරිමි අවසන් තරගය ඕමානය සහ චීන තායිපේ යන දෙපිල අතර පැවැති අතර කාන්තා අවසාන තරගය චීන තායිපේ සහ සිංගප්පූරුව අතර ක්‍රියාත්මක කෙරුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment