ශිෂ්‍යත්වය සමත් වී පාසලට අලුතින් පැමිණි සිසුවාට කම්මුල සහ පිට ඉදිමෙන්න තඩිබාලා

938

දරුවාට අසාධ්‍ය වීමෙන් ඇත්ත හෙළිවෙලා
වැඩිදුර ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුවෙන් යාපනය රෝහලට

යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අලුතින් හය වැනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහරදී ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය නෙල්ලිඅඩි පොලිසියට හා කලාප අධ්‍යාපන කාර්යාලයට ඉකුත් 27 දා පැමිණිලි ලැබී තිබේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව එම කුඩා සිසුවා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ වඩමරච්චි ප්‍රදේශයේ ගම්බද පාසලකිනි. ඔහු පාසලට ඇතුළත් කළ මුල්ම දිනයේදී මෙම පහරකෑමට ලක්ව ඇතත්, ඔහු ඒ පිළිබඳව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට ඉහළ ශ්‍රේණිවල සිසුන්ගේ බලපෑම මත කිසිවක් ප්‍රකාශකොට නොමැත.

පහරකෑමට ලක් වූ සිසුවා නිවසට පැමිණ සිටියදී ඊට පසුදින ඔහුගේ කම්මුල් හා පිට ඉදිමෙන්නට පටන් ගැනීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ. ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ඔහුව යාපනය ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුව සිසුවා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු තදබල පහරකෑමකට ලක්ව සිටින බවට නිගමනය වී තිබේ. අනතුරුව මේ සම්බන්ධයෙන් දෙමව්පියන් අදාළ බලධාරීන්ට පැමිණිලිකොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමෙන් පසුව උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය මේ සිදුවීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ඉතා කඩිනමින් ආණ්ඩුකාර කාර්යාලයට ලබාදෙන ලෙස පොලිසියට හා යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment