ආර්ථික පරිවර්තනයට අනුගත වීමට හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

62

ව්‍යාපාරිකයන්ට උපරිම සහාය ලබාදීමට අප අපේක්ෂා කරනවා

 ‘ප්‍රතිභාෂේක කාන්තා ව්‍යවසායක සම්මාන 2023 සම්මාන උළෙල පෙරේදා (27දා) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට එක්වූ ජනාධිපතිවරයා මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය සමග මෙහි වෙති.

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (27 දා) පස්වරුවේ කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023’ උළෙල අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

සම්මාන ලබාගත් සියලුදෙනාට පළමුවෙන්ම මා සුබ පතනවා. ඒ වගේම මීට සහභාගී වූ සියලුම දෙනාට ප්‍රශංසා කළ යුතුයි. පසුගිය වසර කිහිපය අපට පහසු කාලයක් වුණේ නැහැ. එය ව්‍යාපාරිකයන් ඇතුළු අප සියලුදෙනාට දුෂ්කර කාල පරිච්ඡේදයක් වුණා. නමුත් එම ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ වුවද තම ව්‍යාපාර සිදුකරගෙන යාමට ඔබ ගත් උත්සාහය ප්‍රශංසනීය බව කිවයුතුයි.

මෙම 2024 වසරේ යම් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය වසරේ අවසාන කාර්තු දෙක තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. නමුත් එය 2018 වන විට පැවති ආර්ථික වර්ධන වේගය මට්ටමට තවමත් පැමිණ නැහැ. ඒ සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතියි.

සියලුදෙනාට ජීවත්වීමට හැකි ආර්ථික පරිසරයක් අප රට තුළ නිර්මාණය කර ගත යුතුයි. මුදල් මුද්‍රණය කිරීමට හෝ ණය ගැනීමට දැන් අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට බදු එකතු කිරීමට සිදු වුණා. රුපියල ශක්තිමත් කිරීම සහ උද්ධමනය පහත හෙළීම ද අපගේ අරමුණ වී තිබෙනවා.

පැරැණි ආර්ථික ක්‍රම මත තවදුරටත් මේ රට ඉදිරියට ගෙන යා නොහැකියි. ඒ නිසා අප රට තුළ කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. නව ආර්ථික ක්‍රමවේදයක් හරහා රට ගොඩනැඟිය යුතුයි. එහිදී රට තරගකාරී අපනයන ආර්ථිකයක් කරා ගෙන යා යුතුයි. ඒ වගේම ව්‍යාපාරිකයන්ට රජයක් ලෙස උපරිම සහාය ලබාදීමට අප අපේක්ෂා කරනවා. එම නිසා මේ වසර අවසානය වනතුරු පරාටේ නීතිය කල් දැමීමටද කටයුතු කර තිබෙනවා.

කාන්තා ව්‍යවසායකයන් අද මෙරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. මේ අයට අවශ්‍ය සියලු සහාය ලබාදීමට රජය කටයුතු කරන බව ද කිවයුතුයි.

ඒ වගේම කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමට ඔබ සංගමය ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. කාන්තාවන් බලගැන්වීම තුළින් මෙරට ආර්ථිකය සැලකිලිමත් ලෙස වර්ධනය කළ හැකි බව අප විශ්වාස කරනවා. ඒවගේම කාන්තාවන් ව්‍යාවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙළ ද රජය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අද කාන්තාවන් බොහෝ පිරිසක් කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරවල නියැළී සිටිනවා. ඒ වගේම මේ වන විට අප රටේ සංචාරක කර්මාන්තය සැලකියයුතු ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ශක්තිමත් ව්‍යවසායකයන් බිහි කළ හැකියි. සංචාරක ව්‍යාපාරය විධිමත් ලෙස සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සේවා සපයන ව්‍යවසායකයින් වෙනුවෙන් සහාය දැක්වීමට රජය සූදානම්. සංචාරක ව්‍යාපාරයේ එක් පුද්ගලයකුගේ දෛනික ආදායම ඩොලර් 500ක සීමාවටවත් ගෙන ආ යුතුයි. ඒ සඳහා කාන්තා වාණිජ මණ්ඩලයටද වගකීමක් තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගැනීමටද රජය සැලසුම් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍රවලට අදාළව ව්‍යවසායකයින්ට ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇති වනු ඇතියි. ලෝකය තාක්ෂණය සමග ඉදිරියට යනවිට අපත් ඒ සමග ඉදිරියට යා යුතුයි. අපට එකතැන නැවතී සිටිය නොහැකියි. එම නිසා නව තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමග ආර්ථිකය ගොඩනැගීමේ පදනම දැනටමත් අප දමා තිබෙනවා. එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ස්ථානයකට ඔසවා තැබිය හැකියි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චැංග්, පාකිස්තාන මහ කොමසාරිස් එච්. ඊ. ෆහීම් උල් අසීස්, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති අනෝජි ද සිල්වා, සම ලේකම් තුසිතා කුමාරකුලසිංහම් සහ චිත්‍රාංජලී දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment