අපේ සැකය?

968

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා ඉල්ලා අස්විය. අපට තිබෙන ආරංචිය වන්නේ දේශපාලනඥයකු සමඟ ඇතිකර ගත් මත ගැටුමක් නිසා සභාපතිතුමා ඉල්ලා අස් වූ බව ය. එහෙත් ඒ ගැන මේ පුවත්පත ඔහුගෙන් විමසන ලද කල්හී තමා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස් වූ බව ඔහු දිගින් දිගටම කීය. අපට දැන ගැනීමට ඇති පරිදි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 40 ක ඉඩමක් සම්බන්ධයෙන් සභාපතිවරයා දේශපාලනඥයකු සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ. අදාළ දේශපාලනඥයා තුට්ටු දෙකට මේ ඉඩම ඉල්ලන්නට ඇති බවත් සභාපති ඊට විරුද්ධ වී ඉඩමේ තක්සේරු වටිනාකමට සරිලන පරිදි බදු මුදල් ගෙවන ලෙස දන්වන්නට ඇති බවත් අපගේ උපකල්පනය වේ. සියලු අර්බුද පටන් ගන්නට ඇත්තේ මෙතැනින් විය යුතුය. දැන් එම දේශපාලනඥයා හිටපු සභාපතිට බැණ බැණ හතරවටේ ඇවිදී. එහෙත් සභාපතිතුමා දේශපාලනඥයාට එරෙහිව කිසිවක් කියන්නේ නැත. සමහර විට සභාපතිතුමා මේ කියන දේශපාලනඥයාට මහත් බියක් දක්වනවා ඇති. මේ දේශපාලනඥයා මැරයකු ලෙස පෙනී සිටිය ද, එසේ නොවන හපුට්ටෙකි. පොහොට්ටුවේ භාණ්ඩයක් වන හෙතෙම මීට කලින් ද අවස්ථා කිහිපයකදී ම වැඩ අල කර ගත් හාදයෙකි.

මහජන ඡන්දයෙන් බලයට එන දේශපාලනඥයන් වැඩි හරියක් නිතරම සිතන්නේ තමන් රාජ්‍ය නායකයාටත් වඩා බලවත් බව ය. ඔවුහු තමන් ප්‍රාදේශීය රජවරු ලෙසත් කල්පනා කරති. මෙවැනි තත්ත්වයක් මේ රටේ පශ්චාත් නිදහස් සමයේ පැවතිණි. 1947 දී නිදහස් ලැබූ පසු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වලව්කාරයන් යැයි කියන හාල්පාරුවන්ගෙන් ද, ධනවතුන් යැයි කියන පල් හොරුන්ගෙන් ද පිරී යන්නට පටන් ගත්තේය. මේ රටේ නූගත් ගැමියන්ට තර්ජනය කර ඡන්ද ගැනීමට පුරුදුව සිටි දේශපාලනඥයෝ සිය බලය ඉතා නරක ලෙස පාවිච්චි කළහ. බි්‍රතාන්‍ය ආණ්ඩුවෙන් උසස් තනතුරු ලබා සිටි ඇතැම් මහමුදලිලා ගැමි නිවස ගැහැනු ළමයෙක් වැඩිවියට පත් වූ පසු එම දැරිය බලහත්කාරයෙන් තම ගෙදරට ගෙන්වාගෙන දූෂණය කළහ. මෙවැනි අයගේ සොහොන් කොත්වලට ද හෙණ වැදුණු අවස්ථා තිබේ.

ගැමියන්ගෙන් ශත පහට දහයට අක්කර දහය පහළොව මිලට ගත් මේ ධනපති පංතිය ඉඩම් හිමි වංශවතුන් ලෙස සමාජයේ පෙනී සිටීමට පටන් ගත්හ. සමහර විට ඔවුන් සිය වංශවත් නාමය ලන්දේසි පාලකයන්ගෙන් මිලදී ගත්තක් විය. ලන්දේසි පාලන යුගයේ අවසාන සමය වන විට මේ රටේ ලන්දේසි ආණ්ඩුකාරයා විශාල මුදල් අර්බුදයකින් පෙළෙමින් සිටියේය. ඒ නිසා ධනවතුන්ගෙන් රික්ස් ඩොලර් පනහ බැගින් ලබාගෙන ඒ අයට නම්බුනාම දීම සිදුවිය. මේ නම්බුනාම මගින් ඔවුහු සමාජය තුළ ද දේශපාලනය තුළ ද බැබළුනාහ. මේ තත්ත්වය ක්‍රමයෙන් විස්ථාපනය වූ අතර 1956 බණ්ඩාරනායකවරුන්ගේ සමාජ විප්ලවයෙන් යට ගොස් තිබුණද නැවතත් ඉහත සඳහන් නාමිකර තත්ත්වය 1970 දී මතුවිය. 1970 දී බලයට පැමිණි බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව නමට පමණක් සමාජවාදී වූ වැඩවසම් දේශපාලනඥයන්ගේ දිගුවකි. මේ වැඩවසම් දේශපාලනඥයෝ තරුණියන්ට රැකියා දීම සඳහා තානායම් තුළදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූහ. මේ කියන කාලයේදී අද මෙන් රට හැමතැනම හෝටල් නැත. රහස් කර්මාන්තයක් සඳහා කාමරයක් ලබාගැනීමට තිබූ එකම තැන වූයේ රජයේ තානායමයි. මේ තානායමක් තුළට දේශපාලනඥයකු විසින් තරුණියක රැගෙන ගිය විට එය ලංකාවට පමණක් නොව ඉන්දියාවටත් ආරංචි විය. සමඟි පෙරමුණු ආණ්ඩුවේ පාලන කාලය තුළදී ඉතා නරක ලෙස ආණ්ඩුවට විරුද්ධ පක්‍ෂවල සාමාජිකයන්ගෙන් පලිගන්නා ලදී. යූඑන්පියට වැඩ කළ කොළඹ සිටින ඇතැම් ගුරුවරයෙක් තලෙයිමන්නාරමේ දෙමළ ඉස්කෝලයකට මාරු කරන ලදි. එවැනි සිදුවීම් බොහෝය. මේ අවධිමත් දේශපාලන ක්‍රමය තුළ හටගත් අප්‍රේල් කැරැල්ල මර්දනය කෙරුණු අතර නැවත වතාවක් වැඩවසම් ක්‍රමය රජ විය. ඊළඟට යූඑන්පිය බලයට පැමිණි පසු නිලධාරීන් අල්ලේ නටවන දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති විය. ඇතැම් පුද්ගලයෙක් ප්‍රසිද්ධ වේදිකාවලදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලදි. වැඩිපුර සිංහල දැනුමක් නොතිබූ ජේ. ආර්.ට මෙය තේරුණේ නැත. ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ සමහරු ඉතා නරක ලෙස පොදු දේපළ කොල්ලකෑමේ නිරත වූහ. රජයේ ආයතනවල ප්‍රධානීන් සියලුදෙනාම ක්‍රියාත්මක වුණේ එම ආයතන භාර අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ අභිමතය පරිදි ය.

මේ ගරාවැටීම ප්‍රේමදාස යුගයේදීත් චන්‍ද්‍රිකාගේ කාලයේදීත් මහින්ද රාජපක්‍ෂගේ කාලයේදීත් දිගටම පැවතිණ. මහින්ද රාජපක්‍ෂ යහපත් පුද්ගලයකු වූ නමුදු ඔහුගේ ගෝලයන්ගේ ඇඟිලි ගැසීම් ඉවසා ගැනීමට නොහැකිව ඇතැම් රාජ්‍ය ප්‍රධානීහු කල්තබාම විශ්‍රාම ගියහ. දේශපාලනය යනු කිසියම් සමාජ හා මානසික පැලැන්තියකි. මේ පැලැන්තිය තුළ සිටින දේශපාලනඥයෝ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිති. නාමල් රාජපක්‍ෂගේ ලක්‍ෂ 26 ක ලයිට් බිල සනත් නිශාන්ත ගෙවන්නේ කවර කැසිල්ලකට ද? එබඳු වියදමක් කිරීමට සනත් නිශාන්තට ක්‍ෂණිකව අර තරම් මුදලක් ලැබුණේ කොහොමද? මහින්ද රාජපක්‍ෂ රට කරවන සමයේ ගම්පහ පැත්තේ විසූ දේශපාලනඥයෙක් පාර දෙපැත්තේ සිටින රඹුටන් වෙළෙඳුන්ගෙන් පවා කප්පම් ගන්නට ගිය බැව් කියමින් මේ කතුවැකිය නිමා කරනු ලැබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමේ හේතුව පුද්ගලික හේතුවක් බව අපිද පිළිගනිමු. හැබැයි ඒ පුද්ගලික හේතුව හට ගෙන ඇත්තේ අමන දේශපාලනඥයකු නිසා බවට අපි සැක කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment