පාසල් දරුවන්ගේ බත් පතෙන් මැති සබය උණුසුම්!

218

විලච්චිය දරුවෝ සිහිසුන් වෙලා – කේ.පී.එස්. කුමාරසිරි
ලක්‍ෂ 11ක් දරුවෝ ඉන්නේ නිරාහාරව දැන් බත් බැංකු හදනවා – ඩලස් අලහප්පෙරුම
එක එක සිදුවීම් අරගෙන සමස්තය ලෙස පෙන්වන්න හදනවා – ඇමැති කෙහෙළිය
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ෆෝන් එකට එන්නේ නෑ – කුමාර වෙල්ගම

පාසල් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සහ ඇතැම් දරුවන් පාසල්හි ක්ලාන්ත වීම, දිවා ආහාරයට කුරුම්බා මද ගෙන ඒම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) මැති ඇමැතිවරුන් අතර දැඩි කතාබහක් ඇති විය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

කේ.පී.එස්. කුමාරසිරි මහතා –

අනුරාධපුර බටහිර මගේ ආසනයේ විලච්චිය ප්‍රාදේශීය කොට්ඨාසයේ පාසල් තුනක දරුවෝ විස්සකට වැඩිය ඊයේ දවසේ කෑම නැතුව සිහිසුන්ව වැටිලා තිබෙනවා. විලච්චිය සිද්ධාර්ථ සහ ගාමිණී විද්‍යාලයන්හි වගේම ආනන්ද විද්‍යාලයේ දරුවෝ වගේම ගම්පහ දරුවෙක් කුරුම්බා ගෙනල්ලා තිබෙනවා දිවා ආහාරය සඳහා. ඒ නිසා කරුණාකරලා වැඩපිළිවෙලක් හදන්න. පාසල් දරුවන්ට කෑම දෙන්න රුපියල් 60ක් ප්‍රමාණවත් නෑ. මේ ගැන හොයා බලන්න කරුණාකරලා.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා – මම අනෙක් කොටස දන්නේ නෑ. නමුත් ගම්පහ සිද්ධිය ගැන කතා කළා. මොකද මේක පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක් වුණා. ඒ පාසලේ ඉන්නේ ගුරුවරු 15යි. බොහොම පොඩි පාසලක්. එවැනි සිදුවීමක් වෙලා තිබෙනවා නම් ඒ ගැන ගුරුවරු සහ දරුවන් කවුරුහරි ඒ ගැන දැන ගන්න ඕනා. එදාම පාසල් සංවර්ධන සමිතියේදී මේ ප්‍රශ්නය ගැන අහලා තිබෙනවා. මගේ ළඟ විදුහල්පතිනියගේ වාර්තාවත් තිබෙනවා. මට දාලා පෙන්නන්නත් පුළුවන් විදුහල්පතිනිය කියපු කතාව. මිනිත්තු 04ක ‘කට් එකක්’ මං ගාව තිබෙනවා. මේකෙදී අපි දැකපු ගමන් විදුහල්පතිනිය සංවර්ධන සභාව ගෙනාවා. අනෙක් ගුරුවරු 15දෙනා ගෙනාවා. දරුවන් එක් එක් කෙනාගෙන් අහැව්වා මෙහෙම දෙයක් වුණාද කියලා. ඒත් කිසිම දරුවෙක්ට එහෙම දෙයක් සිදු වෙලා නෑ.

කේ. පී. එස්. කුමාරසිරි මහතා –

මගේ ආසනයේ සිද්ධිය ගැන මම විදුහල්පතිවරුන්ට කතා කළා. විලච්චියේ මගේ ආසනයේ මේක වෙලා තිබෙනවා. විලච්මියේ තන්තිරිමලය කියන්නේ මහ දුෂ්කර පළාතක්. ඒ නිසා මේ ගැන කරුණාකරලා සොයලා බලලා ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ගේන්න.

සෞඛ්‍ය ඇමැති –

විලච්චිය සම්බන්ධයෙන් මම බැහැර කරන්නේ නෑ.

කේ. පී. එස්. කුමාරසිරි මහතා –

මම කියන්නේ විලච්චියේ පාසල් ගැන.

ප්‍රසන්න රණතුංග මහතා –

මම මිනුවන්ගොඩ නිසා ඒ ප්‍රාදේශයේ සිද්ධිය ගැන පෞද්ගලිකව සොයා බැලුවා. ඒ විදුහල්පතිවත් නියෝජ්‍ය විදුහල්පතිවත් මේ ගැන දැනුවත් නෑ. මාධ්‍යටත් මම කතා කළා. නමුත් මේ පාසලේ එහෙම දෙයක් වෙලා නෑ. වැරදි මතවාද ඇරීම තුළ ජනතාව නැවත කුලප්පු කිරීමක් මේක. අනුරාධපුර සිද්ධිය ගැනත් සොයලා බලන්න පුළුවන්.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා –

මේ ගොවිතැන් කරන ප්‍රදේශවල පොහොර නැති නිසා මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා දරුවන් තුළ මන්දපෝෂණ තත්ත්වයක් තිබෙනවා. ඒක පිළිගෙන කතා කරන්න. ඇමැතිවරු උද්දච්ඡ විදිහට කතා කරන්න එපා. ප්‍රශ්නයක් තිබෙනවා. ඒක පිළිගෙන විසඳුමක් දෙන්න.

හර්ෂණ රාජකරුණා මහතා –

මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් ඇහැව්වා නම් උත්තර ලැබෙයි. නැතුව නිලධාරීන් ගැන කතා කරලා වැඩක් නෑ. අපි මේ තත්ත්වය ගැන කතා කරනවා විතරයි තවම මේකට උත්තරයක් නෑ. මේකේ බලපෑම ඉදිරියටයි බලපාන්නේ තව ඇමැතිවරු පත් කරලා වැඩක් නෑ. ඊට කලින් දරුවන්ට කන්න දෙන්න කලින්.

සෞඛ්‍ය ඇමැති –

සූරියවැව දරුවන්ගෙන් සියයට අසූවකට මන්දපෝෂණය කියූ කතාව බොරු කියා දැන් වාර්තාවක් තියනවා. විද්‍යාත්මක පදනමක් එක්ක අපි කතා කරමු.

ඩලස් අලහප්පෙරුම මහතා –

විද්‍යාත්මක පදනම මොකක්ද. පාසල් දරුවෝ ලක්ෂ 42ක් ඉන්නවා. මේ ලක්ෂ 42න් ලක්ෂ 11කට දිවා ආහාරය දෙනවා. ඒක තමයි විiාත්මක පදනම. දැන් අවුරුදු 02කින් මේ දිවා ආහාරය දෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මිනුවන්ගොඩ වුණේ නෑ, විලච්චියේ වුණා කියලා වාද කරලා වැඩක් නෑ. වි්‍යාත්මක පදනම තමයි පාසල් දරුවන් හතරෙන් එකකට දිවා ආහාරය දෙන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා පාසල් දරුවන් ක්ලන්තේ දාලා වැටෙනවා. විදුහල්පතිවරුන්ගෙන් මේ ගැන දුක්ගැනවිලි තිබෙනවා. මම දැක්කා දැන් විදුහල්පතිවරු උදව් කාමරය කියලා කාමර හදනවා පාසල් ඇතුලේ. කෑම වැඩිපුර තිබෙන දරුවෙක්ට තවත් වැඩිපුර කෑම එකක් ගේන්න කියලා. මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. බත් බැංකු හදනවා. විද්‍යාත්මක පදනම තමයි ලක්ෂ 11ක් දරුවෝ නිරහාරව ඉන්නවා. දිවා ආහාරය දීලා නෑ. රුපියල් 60කින් දිවා ආහාරය දෙන්නත් බෑ.

සෞඛ්‍ය ඇමැති –

ඩලස් මන්ත්‍රීතුමා කියන කාරණයත් එක්ක තර්කයක් වාදයක් නෑ. එක එක සිදුවීම් අරගෙන ඒවා සම්පූර්ණයෙන් සමස්තයක් ලෙස ගන්නවා නම් එහි සැඟවූ දෙයක් තිබෙනවා.

කුමාර වෙල්ගම මහතා –

ඔබතුමාගේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට මම දවස් පහක සිට කෝල් ගන්නවා. එතුමා කලින් හිටියේ කළුබෝවිල. ඒත් එතුමා ෆෝන් එකට එන්නේ නෑ. බෙහෙත් නැති නිසා එතුමාට වැඩ වැඩි ඇති. මම කියන්නේ එහෙම කරන්න එපා. අඩුම ගානේ මැසේජ් එකක්වත් දැම්මහම ඒ ගැන බලන්න.

වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා –

අපි වාද විවාද කරාට වැඩක් වෙන්නේ නෑ. අම්පාරේ ලාහුගල පැත්තේ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් කුඹුරු කරලා රජයට දීපු කොටස ලක්ෂ ගණනක්. ඒවා මේ වෙනකොට විනාශ වෙනවා. මේ ගැන කවුරුවත් හොයලා බලන්නේ නෑ. මේ පාසල් දරුවන්ට කන්න නෑ කියනවා නම් පිටරටින් ගෙනෙන හාල්වල වස විෂ නම් අර ගබඩාවල තිබෙන හාල් අරගෙන දරුවන්ට කන්න දෙන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment