අයිස් ගහන රෝහල් සේවකයෝ දොස්තරලාගේ වාහනවල කෑලි ගලවති

400

රෝගීන්ගෙන් ෆෝන් – මුදල් පසුම්බි උස්සලා පොලිසියට පැමිණිලි කළත් වැඩක් වෙලා නෑ

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවියට ඇබ්බැහිවූ සුළු සේවකයන් විශාල පිරිසක් රාජකාරි කරන ප්‍රධානම පෙළේ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සේවකයන්ට අයත් සුඛෝපභෝගී වාහන වල අමතර කොටස් මෙම මත්ලෝලී සේවකයන් විසින් ගලවාගෙන ගොස් අලෙවි කරන බව රෝහල් බලධාරීහු පවසති.

මේ හේතුව නිසා රෝහලේ භූමියේ තම වාහනය නතර කර යෑමට නොහැකි තත්ත්වයක් එහි වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට උදාවී ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ජංගම දුරකථන, රන් ආභරණ, මුදල් පසුම්බි ඇතුළු වටිනා භාණ්ඩ මෙම මත්ලෝලී සේවකයන් විසින් සොරාගෙන ගොස් විකිණීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද රෝහල් බලධාරීහු පවසති.

මෙම රෝහලේ සේවය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිටින සුළු සේවකයන් කීපදෙනෙකුම අතිසුඛෝපභෝගී වාහන පරිහරණය කරන බවද රෝහලේ ආරංචි මාර්ග පවසයි.

අයිස් නමැති මත්ද්‍රව්‍ය ඉතාම බහුල ලෙස මෙම රෝහලේ අලෙවි කරන අතර මෙම ජාවාරම්කාරයන්ට ඇති බිය නිසා ජාවාරම් මර්දනය කිරීමට රෝහල් බලධාරීන් කිසිවකුත් ඉදිරිපත් නොවන බවද වාර්තා වෙයි.

මෙම මත්ලෝලීන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකරන සුළු සේවකයන් රෝහලේ වෛද්‍යවරුන් හෙද නිලධාරීන් ඇතුළු අනෙකුත් සේවකයන් බිය වද්දාගෙන තමන්ට අවශ්‍ය පරිදි ජාවාරම්වල නිරත වන බවද හෙළිවී ඇත.

මෙම මත්ලෝලී සුළු සේවකයන් විසින් සිදුකරන සොරකම් සහ ජාවාරම් පිළිබඳව පොලිසියට පැමිණිලි කළද ඒවාට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද බලධාරීහු පවසති.

මෙම රෝහල තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සේවකයන් වැටලීමේ වැඩපිළිවෙළක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ ඒකාබද්ධ වී නුදුරු දිනයක ආරම්භ කරන බවද රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

මේ තත්ත්වය අද ඊයේ උදාවෙච්ච තත්ත්වයක් නොවෙයි. මේක අවුරුදු ගානක් තිස්සේ රෝහල තුළ සිදු වුණා. ඒත් මේ තත්ත්වය නතර කරන්න කවුරුත් කටයුතු කළේ නැහැ.

මොකද මේ මත්ලෝලී සහ ජාවාරම්කරන සුළු සේවකයන් බොහෝවිට පාතාලයට මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට සම්බන්ධ අය. ඒ නිසා මේ අයගෙන් එල්ල වන තර්ජන ගර්ජන වලට බයේ කවුරුත් මේවා නතර කරන්න කටයුතු කළේ නැහැ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment