ෂෝ නැති සති දෙකක්

893

2024 ඔක්තෝබර් මස 06 වැනිදා ඉරිදා

අනුර කුමාර ජනාධිපති ධුරයට පත්වී හරියටම සති දෙකක් ගෙවී අවසන්ය. එම සති දෙක දෙස ආපසු හැරී බැලුවහොත් විශේෂයෙන්ම එහි දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයේ ගොන් පාර්ට් තිබුණේම නැත. අනවශ්‍ය වියදම්, නා නා ප්‍රකාර උත්සව හෝ පිළිගැනීම්, මාධ්‍ය සංදර්ශන ආදිය දකින්න නොලැබුණේය. ආර්යාවන් හෝ කුමර කුමරියෝ ද දැක ගැනීමට නොහැකි වූ අතර පිරිවරාගෙන එහා මෙහා යෑම් ද නොතිබිණ.

අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවා තම සටන් සගයකු වූ ලක්ෂ්මන් නිපුනආරච්චිව ද සභාවේ වාඩිකර රාජාසන කතාවක් ද සිදු කර ෂෝ එකක් දැමීමට තිබූ අගනා අවස්ථාව ද ජනාධිපතිවරයා ප්‍රයෝජනයට නොගත්තේය. මේ වූ කලී නව දේශපාලන ප්‍රවණතාවකි. පැරණි යල්පැන ගිය දේශපාලන කියුම් කෙරුම්වලින් මේ රට හොඳටම හෙම්බත් වී තිබිණ. එය අහවර කිරීමට අනුර කුමාර දිසානායක ගත් ඒ ව්‍යායාමය ඉතා ප්‍රශස්තය. අතීතයේ පත්වූ පාලකයන් ඉතා ප්‍රබුද්ධ පාලනයක් ගෙන යන බවට ප්‍රතිඥා දුන් අයුරු අපට හොඳහැටි මතකය. එහෙත් එවැන්නන් සිය පාලන බලය අහිමි කර ගත්තේ අධිකරණයේ ද ටොකු ඇනුම් ද කෑමෙන්ය. හැටනව ලක්ෂයක ජනතා වරමක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි.

පසුගිය දශක ගණනාවක සිට බහුතරයක් සිතා සිටියේ අනුර කුමාර දිසානායක මේ රටේ කිසිදිනෙක බලයට පත් නොවේ යැයි කියාය. නමුත් ජේවීපී ආණ්ඩුවක් පත්වුණහොත් නම් හොරකම්, කොමිස් ගැහිලි නැතිවේ යැයි යන ජනතා මතයක් සහ ඒ හරහා ඇති වූ ජනතා ප්‍රසාදයක් තිබිණ. පසුගිය සෑම මැතිවරණයකදීම ජේවීපීයට තිබූ එම ජනප්‍රසාදය ඡන්දය ගණන් කිරීමට මල්ල ලිහා බැලීමේදී අතුරුදන්ව තිබිණ. එසේ වූවා යැයි කියා දූෂණයට, නාස්තියට, හොරකමට එරෙහි උගුර ලේ රහ වෙනකම් කෑගැසූ අනුරලාගේ හඬ නැවතුනේ නැත.

පසුගිය 21දා පැවැත්වූ ජනාධිපතිවරණය තෙක් මේ ඇත්ත රටේ ජනතාව පිළිගෙන තිබුණේ නැත. එහෙත් දූෂණයට එරෙහිව නැගූ එම අනවරත ක්‍රියාවලිය ජනතාව පසුගිය 21දා පිළිගත්තා පමණක් නොව එම හොරු එළවා දැමීමට ලක්ෂ 56ක් ඡන්දය දී රටේ මුල් පුටුව ද පිළිගැන්වූයේය.

අනුරලා ආවොත් මේ රට ලේ විලක් වේ යැයි දේශපාලන වේදිකාවේදී කෑමොර දුන් අය බොහෝය. එහෙත් සති දෙකක් ගෙවී ගිය ද මේ වන තෙක් එවැන්නක් තියා විරුද්ධවාදියකුට ගල් කැටයකින්වත් පහරදීමක් වාර්තා වූයේ නැත. රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් කඩා පැන බිය වද්දවා, පුටු පැහැරගැනීමක් ද සිදු නොවීය. එසේනම් මේ සිදු වනුයේ නව දේශපාලන පරිවර්තනයකි. එම පරිවර්තනය ඉදිරි මහ මැතිවරණයේදී තවත් තහවුරු වෙනු ඇතැයි දේශපාලන තතු දත්තෝ පවසන අතර අතීත ප්‍රතිඵල මගින් එය ස්ථිර කර තිබේ.

ආණ්ඩු බලයෙන් මත්ව සිටි ඇතැම් පාලකයෝ ගසා කෑ හැකි සෑම පැත්තකටම සිය ඇස්, කන් සහ දෑත් මෙහෙයවූවෝය. තම මිතුරන්ට, ඥාතීන්ට, ගැත්තන්ට උපරිමයෙන් සැලකුවෝය. විරුද්ධවාදීන් මරා දැමුවෝය. රාජ්‍ය ආයතන සහ බැංකු පද්ධති විනාශ කළෝය. රට පාවා දුන්නෝය. අවසනදී රට බංකොලොත් කර දමා අත පිහිදා ගත්තේය. සියල්ල විඳ දරා සිටි මෙරට ජනතාව මෙකී සියලු නොපනත්කම්වලට එරෙහිව වීථි බැස අරගලයක් දියත් කළේය. එහිදී අරගලයේ මතය වූයේ සැමට සමානව ජීවත් විය හැකි ආර්ථික වටපිටාවක් රට තුළ පිහිටු විය යුතු බවය. එහෙත් කරුමයට ඉන්පසුව පත් වූ පාලකයන් අරගලයේ අපේක්ෂා ඉටු නොකළ බව පැහැදිලිය. වැල් පාලමක් ගැන කිව්ව ද ඔවුන් ගොස් තිබුණේ අධිසුඛෝපභෝගී වාහනවලය. මිල අධික ආහාරපානාදිය ලබා ගත් බවක් ද කියවේ.

නව ජනාධිපතිවරයාට දැන් ඇත්තේ එසේ කඩාවැටුණු රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැංවීමය. ඒ සඳහා අභ්‍යාස කරන අතරේ රට බංකොලොත් කළවුන්ට එරෙහිව ක්‍රමවත් පරිදි නීතිය ක්‍රියාත්මක කළ යුතුය. පාස්කු ප්‍රහාරය, මහ බැංකු කොල්ලය, ඝාතන, අනීතික ඉපැයීම්, රටින් පිටමං කළ ජාතික ධනය ආදී ප්‍රශ්නගත සිදු වීම් රැසකට වගඋත්තරකරුවන් කවුදැයි කියා සෙවිය යුතුවේ. අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළ පරිදි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉදිරියට ගෙනයෑමද කළ යුත්තකි. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතන සිද්ධිය, පෝද්දල ජයන්තගේ සිද්ධිය පිළිබඳව නැවත පරීක්ෂණ ආරම්භ කරන බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ වගේම ඝාතනයට ලක්වුණ ද්‍රවිඩ මාධ්‍යවේදීන් වන සිවරාම්, නිමල රාජන්, මන්ත්‍රී රවිරාජ්ගේ සිද්ධීන් පිළිබඳවත් වර්තමාන ආණ්ඩුව පරීක්ෂණ සිදුකළ යුතුයි.

පසුගිය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය දූෂණ වංචාවලින් පිරි තැනක් විය. එහි ප්‍රධාන පුටුවල සිටි නිලධාරීන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ද කොමිස් ගසා ඉහගෙන කා තිබිණ. ඒ ආශ්‍රිතව ඇත්තේම චෞර වළල්ලකි. ඒ පිළිබඳ ඇත්ත හෙළිදරව් කිරීම ජනපතිගේ වගකීමකි.

අනුරලා දේශපාලන වේදිකාවේ කියූ ඒ මංකොල්ල කෑම් සෑම එකකම සත්‍ය ද අනාවරණය කළ යුතුය. එතැනින් නොනැවතී රට තුළ සමාන අවස්ථා ඇති කර ආර්ථික අතින් සුබදායී තත්ත්වයක් ඇති කළ යුතුමය. එසේ නොකළහොත් රට අනුරට දුන් පරම පවිත්‍ර ජනවරමට ද දෙයියන්ගේම පිහිටය.


advertistmentadvertistment