සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි බලකාය බලගැන්වීමේ වැඩසටහන

19

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භකර පුරා වසර 41 ක් ගතවන අවස්ථාවේ, 2023 සිය ව්‍යාපාරික දිවිමගෙහි හැරවුම් ලක්ෂ්‍යක් නිර්මාණය කරමින් මෙතෙක් ළඟාකරගත් වාර්ෂික ඉහළම පිරිවැටුම වන රු. බිලියන 26.6 ක් හා ඒ තුළින් ජනිතවන ලාභය ලෙස රු. බිලියන 3.6 ජනාධිපති අරමුදලට හා මහපොළ උසස් අධ්‍යාපන අරමුදලට බැරකරමින් හා රජයට එම වර්ෂයේ සිදුකළ සම්පූර්ණ දායකත්වය ලෙස රු. බිලියන 5.1 ලබාදෙමින් සහ පාරිභෝගිකයින් වෙත තෑගි ලෙස රු. බිලියන 13.4ක්ද ලබාදෙමින් සිය ව්‍යාපාරික ගමන්මග වර්ණවත් කර ඇත.

එම වර්ණවත් කිරීම තුළ සිටින ප්‍රධානතම බලවේගයක් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයින් සහ ඔවුන් යටතේ සේවය කරනු ලබන 20000 කට වැඩි අලෙවි බලකාය බලගැන්වීමත් 2024 වර්ෂයේදීද ඔවුන්ගේ කැපවීම තුළින් ඉහළ පිරිවැටුමක් ළඟාකර ගැනීම සඳහා උපායමාර්ගයක් ලෙස සැම දිස්ත්‍රික්කයක්ම මූලික කරගනිමින් “අලෙවි පිළිසඳර” ලෙස වැඩසටහනක් නිර්මාණය කරමින්, ගම්මට්ටමින් ඔවුන් හමුවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩල සන්නම් නාම පිළිබඳව දැනුවත් කිරීම, ත්‍යාග රටාවන් පිළිබඳව දැනුවත් කිරීම, ඔවුන් විසින් සිදු කරනු ලබන සමාජ සත්කාරය පිළිබඳ ඔවුන්ට වැටහීමක් ලබාදීම සහ ඔවුන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරමින් බැංකු සමග ගණුදෙනු කිරීමට පෙළඹවීම තුළින් ඔවුන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්කිරීම වෙනුවෙන් මෙම “අලෙවි පිළිසඳර” වැඩසටහන නිර්මාණය කර ඇති අතර මෙම අවස්ථාව හා සම්බන්ධවන අලෙවි සහයකවරුන් සඳහා රු.1000/- මුදලක් තැන්පත් කරමින් රාජ්‍ය බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක්ද විවෘත කරනු ලබන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙහි සමාරම්භක උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 04කදී 2024.05.18 සහ 2024.05.19 යන දෙදින තුළදී අනුරාධපුරය, මිහින්තලය සහ ගල්නෑව යන ප්‍රදේශ මූලික කරගනිමින් සිදු විය. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පත්කර ඇති අලෙවි නියෝජිතවරුන් 100ක් සහ ඔවුන් යටතේ ලොතරැයි මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධවී සිටින අලෙවි සහයකවරුන් 1000ක් පමණ සහභාගී විය.

ඉදිරි මාස වලදී මෙම වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කරා රැගෙන යාමට හා ඒ තුළින් අලෙවි බලකාය ලෙස අලෙවි නියෝජිතවරුන් සහ ඔවුන් යටතේ සිටින අලෙවි සහයකවරුන් බලගැන්වීම සහ දිරිමත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය අපේක්ෂා කරන බව ප්‍රකාශ කරයි.

සටහන හා ඡායාරූප – මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment