පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත්කිරීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් හමුවේ සමගි ජන බලවේගය පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් හය දෙනකු ඊයේ (25දා) වන විට එම ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි එම පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස හා මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙත යොමුකර තිබේ.
මෙසේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක චන්ද්‍රලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් මෙලෙස සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගය නියෝජිතයන් පත්කර ගැනීමේ අර්බුදය මේ වනවිට උග්‍ර වෙමින් තිබෙන අතර පක්‍ෂ නායකත්වය ගත් තීරණ හේතුවෙන් තවත් ආසන සංවිධායකවරු දැඩි කලකිරීමට පත්ව ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව ඔවුන් ද ඉදිරියේදී දැඩි තීරණයක් ගනු ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධයෙන් විමසීමට එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
චමින්ද සිල්වා