නීතියේ ආධිපත්‍යය බිඳවැටෙන්න ආර්ථික අර්බුදයත් හේතු වුණා – ඇමැති විජයදාස රාජපක්ෂ

109

අපේ රටේ ඇති වූ ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත් හේතු සාධක වුණා යැයි ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. නීතිය පිළිබඳව මහජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය මගින් කරනු ලැබූ 2023 ජාතික නීති සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

අපේ රටේ නීතිඥ වෘත්තිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට තිබූ වැරදි මතය වෙනස් කිරීම සඳහා හිටපු විනිසුරු සී.ජේ. වීරමන්ත්‍රි මැතිතුමා විසින් 2006 වසරේදී මේ ජාතික නීති සතිය සංකල්පය ලෝකයට හදුන්වා දෙනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ නීතියේ ආධිපත්‍යය මගින් ජනතාව බලාපොරාත්තු වන අරමුණු ඉටු කර ගැනීම සඳහා නීතිය පිළිබඳව වූ දැනුම ජනතාවට අවශ්‍යයි. මේ වන විට නීති ආධාර කොමිෂන් සභාව විසින් අඩු ආදායම්ලාභි ජනතාවට නොමිලේ නීතිමය සේවාවන් ලබාදීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඊට යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙෆ් හා ඹභෘඡ වැනි ආයතනවල සහයෝගය ලබාදී තිබෙනවා. එමෙන්ම සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ද කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ද ජාත්‍යන්තර ආයතනවල සහයෝගය ලැබී තිබෙනවා. පසුගිය කාලයේ දී අපේ රටේ ඇති වූ ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත් හේතු සාධක වුණා. ආර්ථික අර්බුදයෙන් අත් මිදෙමින් ඇති අවස්ථාවක සිටින ජනතාවට මෙවැනි වැඩ සටහන් පැවැත්වීම අතිශයින් වැදගත් වෙනවා. ජාතික නීති සතිය තුළින් සිදු කරනු ලබන සේවාවන් වර්තමානයට අතිශයින් වැදගත් වෙනවා. විශේෂයෙන් මහජනතාවට නීතිය පිළිබඳව වූ අවබෝධය ලබා දීමට නීතිඥ ප්‍රජාව විසින් කරනු ලබන මෙම සේවාව සාර්ථකව සිදු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ සහ රජයේ උපරිම සහයෝගය ලබා දෙනවා.

මෙම උත්සවය අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසූරිය මහතාගේ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12, උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී 28 වැනිදා පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment