සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරවලින් ඉවත්වූවන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නැවත සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව ධුරයෙන් ඉවත් වූ මාතලේ ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ සහ නුවරඑළිය සම සංවිධායක අශෝක සේපාල යන මහත්වරුන් නැවතත් ආසන සංවිධායක ධුර භාරගෙන කටයුතු කිරීමට තීරණය කර ඇත.
සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කළ සාකච්ඡාවලින් අනතුරුව එතෙක් පැවති ගැටලුකාරී තත්ත්වයන් සහ පක්ෂයේ පරිපාලන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකි වූ බව රංජිත් අළුවිහාරේ මහතා පැවසීය. ඒ මහතා එසේ කියා සිටියේ ඊයේ (26දා) සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එමෙන්ම නුවරඑළිය සම සංවිධායක අශෝක සේපාල මහතා ද යළි ආසන සංවිධායක ධුරයෙහි කටයුතු කරන බව සජබය වෙත දන්වා ඇත.
බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ගාල්ල ආසන සංවිධායක බන්දුලලාල් බණ්ඩාරිගොඩ, රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ, මාතලේ ආසන සංවිධායක වසන්ත අළුවිහාරේ, දඹුල්ල ආසන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ, රක්වාන ආසන සංවිධායක පී. ආරියවංශ, නුවරඑළිය සම සංවිධායක අශෝක සේපාල, හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික යන මහත්වරුන් මීට පෙර සජබ සංවිධායක ධුරවලින් ඉවත්ව තිබිණි.
අකිත පෙරේරා