අර්ජුන – ප්‍රමෝද්‍ය සටනට එන ඕල්කට් සැමරුම් තරගාවලිය

137

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අටක කණ්ඩායම් සහභාගි වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් සැමරුම් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ලබන 08, 09 සහ 10 යන දිනවල මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. සය සාමාජික හා අට සාමාජික යන කාණ්ඩ දෙකකින් සමන්විතව පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා එංගලන්ත ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මුල් වෙමින් පිහිටු වූ බෞද්ධ පාසල් අටක් එක්ව සිටී.

එම විදුහල්හි ආදි සිසුන්ගේ කණ්ඩායම් හා වත්මන් ක්‍රිකට් කණ්ඩායම් අතරත් අනතුරුව විදුහල් අටේ ආදි සිසුන්ගේ කණ්ඩායම් පමණක් සහභාගි වන අට සාමාජික තරගාවලිය පැවැත්වේ. දෙසැම්බර් 10 වැනිදා එහි අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රිකට් පදනම මෙවර තරගාවලියට සත්කාරය දරන අතර, පිරමිඩ් විල්මාර්, නිපෝන් පේන්ට් හා ජේ. එන්. ඉන්ටීරියස් යන ආයතන ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

කොළඹ ආනන්ද විදුහල නියෝජනය කළ අර්ජුන රණතුංග, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සංජීව රණතුංග හා ගාල්ල මහින්ද විදුහලේ උපුල් චන්දන, කුරුණෑගල මලියදේව විදුහල වෙනුවෙන් රංජිත් මධුරසිංහ, ජීවන්ත කුලතුංග, මාතර රාහුල විදුහල නියෝජනය කරමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ආදීහු මෙම තරඟාවලියට එක් වෙති.

1999 දී තරගාවලිය ඇරඹීමෙන් පසුව ගාල්ල මහින්ද විදුහල මෙහි වැඩිම වාර ගණනක් ශූරතා කුසලාන දිනා තිබේ. ඒ වාර ගණනින් හතකි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල කුසලාන පස්වතාවක් දිනා ඇත. කොළඹ ආනන්ද හා කුරුණෑගල මලියදේව යන විදුහල් ශූරතා කුසලාන තෙවතාවක් බැගින් හිමිකර ගෙන ඇත.

තරගාවලියට අනුග්‍රහය ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

පසුපෙළ වමේ සිට මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රිකට් සංගමයේ ලේකම් අජිත් පළිහක්කාර, එහි සභාපති තනුජ ගොඩවත්ත, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනමේ සභාපති රොහාන් සෝමවංශ, එහි ලේකම් උපාලි ජයසේකර.
ඉදිරි පෙළ වමේ සිට:- නිපෝන් පේන්ට් සමාගමේ සාමාන්‍යාධිකාරී නෙමන්ත අබේසිංහ, ජේ. එන්. ඉන්ටීරියස් පෞද්ගලික ආයතනයේ අලෙවි කළමනාකරු ධම්මික දාබරේ, එහි සභාපති ජොව්නස් ප්‍රනාන්දු, පිරමිඩ් විල්මාර් පෞද්ගලික ආයතනයේ අලෙවි ප්‍රධානි නදීෂා චන්ද්‍රසේකර, එහි වෙළෙඳ හා අලෙවි ප්‍රධානි හිරාන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙහි වෙති. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment