ඊළඟ කන්නයෙත් අපේ හාල් අපට නැතිවෙයිද?

රටින් ගෙන්වන්න වෙයිද?

මෑත කාලයේදී ලොව පුරා ජනතාවට දිනෙන් දින මුහුණ පාන්නට සිදුවන අභියෝග වැඩි වන තත්ත්වයක් දක්නට ලැබේ. රට රටවල ඇති වන යුද ගැටුම්, ස්වභාවික විපත් මෙන්ම නොයෙකුත් අවුල් වියවුල් නිසා මේ වන විට සකල ලෝකවාසී ජනතාවම එකම දම්වැලක පුරුක් මෙන් ප්‍රශ්න ගොන්නක සිරවී සිටී. එක රටක අර්බුදයක් තවත් රටකට වෙනත් ආකාරයකින් බලපෑම් එල්ල කරයි. රුසියා – යුක්‍රේන යුද්ධය මෙන්ම ඊශ්‍රායල් – පලස්තීන ගැටුම ලෝක ආර්ථිකයට මෙන්ම මෙරට ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරයි. එක පැත්තකින් ඉන්ධන මිල වැඩි වීමෙන් සහ පොහොර මිල ඉහළ යෑමෙන් බලපෑම් එල්ලවන අතර තවත් පැත්තකින් අපගේ භාණ්ඩ අපනයනය සීමා වීම නිසා ද දැඩි බලපෑමක් එල්ල වේ.

මෙරට විදුලි බිල වැඩි වී තවම හය මාසයක්වත් ගෙවුණේ නැත. දැන් යළිත් වරක් විදුලි මාරයා ජනතාව ගිල ගැනීමට බලා සිටී. මේ වන විට ජනතාවට විදුලිබල මණ්ඩලය නයාට අඳුකොළ ගානය. ආණ්ඩුවට මිල වැඩි කිරීමට අවශ්‍ය වූ විට මොන බාධක, නීති රෙගුලාසි තිබුණත් ඒ සියල්ල උල්ලංඝනය කොට මිල වැඩි කෙරේ. ඉන්ධන මිල ද එසේය. නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොපමණ අඩු වුවත් අවුරුද්ද මුළුල්ලේම වර්ෂාව ලැබී කෙතරම් අඩු මිලට විදුලිය නිපදවුවත් මේ දෙකෙහිම මිල පහළ යෑමක් නම් කිසිදා දක්නට නොලැබේ.

තවත් පැත්තකින් ගෙන බැලුවොත් රටේ ආණ්ඩු වලින් පමණක් නොව කාලගුණයෙන් පවා ජනතාවට ගෙන දෙන්නේ දැඩි පීඩාවකි. රටේ එක පැත්තකට අධික වර්ෂාවක් ලැබී ගොවියාගේ අස්වැන්න විනාශ වන අතර තවත් පැත්තක නියඟය හේතුවෙන් විශාල ගොවි බිම් ප්‍රමාණයක් විනාශ වී තිබේ. මේ සියල්ලෙන් ම පීඩාවට පත් වන්නේ අහිංසක මහජනතාව ය. රටේ ජනතාවට ආහාර සපයන එළවළු සහ වී ගොවියා ය. එයිනුත් වී ගොවියා විශේෂය. වී ගොවියා මේ වන විට ගිරයට හසු වූ පුවක් ගෙඩියක් මෙන් හැම පැත්තකින් ම පීඩාවට පත්වේ.

● නිසි කලට පොහොර නොලැබීම

දැනට වර්ෂ තුන හතරක සිට ම වී ගොවිතැනට අවශ්‍ය පොහොර ටික කලට වෙලාවට ගොවියා අතට පත්වන ආකාරයක් දකින්නට නැත. කලින් කලට නිලධාරීන් මෙන්ම බලධාරීන් ගන්නා තීන්දු තීරණ ද මේ සඳහා බලපා තිබේ. යල කන්නයට නොමිලේ පොහොර දෙනවා යැයි පවසන ආණ්ඩුව මහ කන්නය වන විට සහන මුදලකට පොහොර සපයන බව පවසයි. නැවතත් ඊළඟ කන්නය වන විට තවත් ප්‍රත්පත්ති තීන්දුවකට එළඹෙන ආණ්ඩුව පොහොර වෙනුවට වවුචර්පත් ලබාදෙයි. එම උත්සාහය අසාර්ථක වන තැන නැවතත් ඊළඟ කන්නයට වැඩි මිලට හොඳ පෝර දෙනවා යැයි පවසා ගොවියා පීඩාවට පත්කරයි. එම උත්සාහයන් අසාර්ථක වන විට නැවත වරක් සහන මිලට පොහොර සපයන බව පවසයි. මෙවර හෙක්ටයාරයකට රුපියල් 15000ක් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැරකෙරේ. මෙයාකාරයට පසුගිය වසර කීපය තුළ ආණ්ඩුව විසින් ගොවියාට පොහොර සැපයීම පිළිබඳ තීන්දු තීරණ කී වතාවක් නම් වෙනසකට භාජනය කර තිබේද. එම තීන්දු තීරණ කොතරම් දුරට සාර්ථක වී තිබේ දැයි දැන ගැනීමට ගොවි මහතකු විමසුවා නම් මේ තීන්දු තීරණ පිළිබඳ හොඳ හැටි කියා දෙනු ඇත.

මඩ පොහොර අවශ්‍ය කාලයට වෙළෙඳපොළේ පවතින්නේ මඩ පොහොර නැත. ඒ වෙනුවට පවතින්නේ යූරියා ය. යූරියා අවශ්‍ය මොහොත වන විට පවතින්නේ බන්ඩි පොහොර ය. බන්ඩි පොහොර අවශ්‍ය අවස්ථාව වනවිට වෙළඳපොළේ මඩ පොහොර පවතී. ගොවියාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තරමට නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර ටික සැපයීමට තවමත් ආණ්ඩුව අසමත් වී ඇත. වවුචර්පත් ටික ගොවි ජනතාවට කලට වෙලාවට බෙදා දුන්නැයි ආණ්ඩුව උදම් ඇනුවත් වවුචර් පතත් රැගෙන වෙළඳපොළට යන ගොවියාට එන්න වෙන්නේ හිස් අතිනි. ඒ පොහොර නැති බැවිනි. පැවතියත් ඒවා ගිනි ගණන්ය.

● ජල ගැටලුව

වී ගොවිතැනට ඇති මූලිකම ගැටලුවක් වන්නේ ගොවීන්ට නිසි කලට වෙලාවට අවශ්‍ය තරම් ජලය නොලැබීමයි. මෙම කරුණෙහිදී වාරිමාර්ග නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ගොවි ජනතාවද මෙයට එක හා සමානව වැරදිකරුවන් වේ. රටකට නියඟයක් බලපාන්නේ නම් එම තත්ත්වය කල්තියා ගොවි ජනතාවට මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයට දැනුම්දීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි. එම උපදෙස් නිසි පරිදි ගොවි ජනතාවට අවබෝධ කර දී ඔවුන්
ගොවිතැන් කටයුතු සඳහා යොමු කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වගකීමකි. එම උපදෙස් පිළිපැද නිසි කලට වෙලාවට ගොවිතැන් කටයුතු සිදුකිරීම ගොවි මහතුන්ගේ වැඩකි. නමුත් සමහර ගොවි මහත්වරු කම්මැලි කමෙන් පැත්තකට වී සිට අන්තිම මොහොතේ ගොවිතැන් කටයුතු වලට මුල පුරයි. එහි ප්‍රතිඵලය වන්නේ කුඹුරු ඉඩම් නියඟයට හසු වීම හෝ අධික වර්ෂාවට හසුව වගාව පාළු වීම ය. මෙරට ජල කළමනාකරණය පවතින්නේ ඉතාම පහළ මට්ටමකය.

මීට ඇති හොඳම උදාහරණය වන්නේ පසුගිය කාලයේ වලව වම් ඉවුර ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු ඉඩම්වලට සිදු වූ නස්පැත්තිය ය. මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන ආකාරයට නියඟයට හසුවීමෙන් කුඹුරු ඉඩම් අක්කර හැට දහසකට අධික ප්‍රමාණයක් බිලිවී වී මෙට්‍රික් ටොන් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් විනාශ වී ඇත. ගොවීන් නිසි කලට වෙලාවට වගා නොකොට පමාවී කුඹුරට බැසීමේ ප්‍රතිඵල එසේය.

උඩවලව ජලාශයෙන් අවශ්‍ය තරම් ජලය සපයා ගැනීමට නොහැකි තැන සමනලවැව ජලාශයෙන් ජලය ඉල්ලා උපවාස සත්‍යග්‍රහ පවා කරන්නට ගොවි ජනතාවට සිදුවිය. නමුත් ගොවි මහත්වරු ජලය ඉල්ලා සිටි පළමු අවස්ථාවේම ජලය නොලැබිණි. සති දෙක තුනක ඇවෑමෙන් ජලය ලැබුණද ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. අවසානයේ සිදුවූයේ වී ගොවියා මෙන්ම විදුලි පාරිභෝගිකයාත් අනාථ වීමය. ආණ්ඩුවේ මේ ක්‍රියා පිළිවෙත අපට සිහි ගන්වන්නේ මුට්ටියක බෙල්ල හිර කර ගත් එළුවාගෙන් මුට්ටියත් බෙල්ලත් බේරා ගැනීමට මහදැනමුත්තා උත්සාහ දැරූ කතා පුවතයි.

මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබේ. එයින් විනාශ වූ ගොවිබිම් ප්‍රමාණය තවමත් ගණනය කොට නැත. කෙසේ වෙතත් එළඹෙන මහ කන්නයේදීවත් ගොවීන් කලට වේලාවට කුඹුරු වෙත ගෙන්වා ගැනීමට නිලධාරීන් කටයුතු කළ යුතුය. නැතිනම් ලබන වසරේත් සිදුවන්නේ ජලය ඉල්ලා උද්ඝෝෂණය කිරීමට ය. ඒ ලබන වසරේත් නියඟ තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ කොට ඇති නිසාය. එසේ සිදුවුවහොත් ලබන වසරේත් මෙරට ජනතාවට රස බලන්නට වන්නේ මෙරට බත් කටක රස නොව රට සහල්වල රසය.

දැන් පෙර මෙන් සාම්ප්‍රදායික ක්‍රම මගින් කරන ගොවිතැන අසාර්ථක වී තිබේ. ඒ මේ වන විට ලොව පුරා පවතින දේශගුණ රටාව වෙනස් වී ඇති බැවිනි. වෙනදා වර්ෂාපතනය නොලැබුණු මාස වලට දැන් වර්ෂාපතනය ලැබෙයි. වර්ෂාපතනය ලැබුණු කාලවලට දැන් දැඩි නියඟයක් බලපායි. එම නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙන උපදෙස් පිළිපැද කටයුතු කිරීම ජනතාවට වඩාත් යහපත් වේ.

● වී මිල පහළ වැටීම

ගොවි ජනතාව නිරතුරුවම පීඩාවට පත් කළ ප්‍රශ්නයක් වන්නේ වී සඳහා සහතික මිලක් නොමැති වීමයි. පෞද්ගලික මෝල් හිමියන් සහල් තොග සඟවා කෘතිම මිල වැඩි කිරීමක් සිදු කරන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව කරන්නේ පිටරටින් සහල් ගැන්වීමයි. එය වෙනත් වටයකින් ප්‍රයෝජනයට ගන්නා පෞද්ගලික මෝල් හිමියන් කරන්නේ ගොයම් කැපෙන කාලයට රට සහල් මෙන්ම ඔවුන් සතු පරණ සහල් තොග වෙළෙඳපොළට මුදාහැර වෙළඳපොළේ සහල් මිල ක්ෂණික පහත හෙළීමයි. ඒ නිසා වෙළෙඳපොළේ වී මිලත් ශීඝ්‍රයෙන් පහළ බසී.

මෙරට වී ගොවීන්ගෙන් අති බහුතරයක් වගා කරන්නේ තම කණකර උකසට තබා හෝ ණය වෙලාය. සමහරු කඩවලට ණය වී ඇති අතර තවත් සමහරු වී මුදලාලිලාගෙන් අයට ණයට මුදල් ලබාගෙන ඇත. ඒ කෙසේ වෙතත් ගොයම් කපා පාගා අවසන් වූ විගස ඔවුන් ඒ ණය බේරිය යුතුය. වී මිල අඩු වුණත් වැඩි වුණත් ඔවුන්ට කරන්නට වෙන විකල්පයක් නැත.

සීසෑමේ පටන් සියලු කටයුතුවලට වී මුදලාලි නොමසුරුව වියදම් කරන්නේ මේ තත්ත්වය දැනගෙනය. රට වටේට ණය වී සිටින ගොවියා අවසානයේ කරන්නේ කීයට හෝ වී ටික දී ණයෙන් නිදහස් වීමය.

● ආණ්ඩුවත් වී මිලදී ගැනීම නවතයි

මේ වන විට ආණ්ඩුව විසින්ද වී මිලදී ගැනීම නවතා දමා ඇත. ජනතාවට පොඩි හෝ බලාපොරොත්තුවක් තිබුණේ පාලන මිලට තම වී වලින් කොටසක් හෝ ආණ්ඩුවට විකුණා දමා කීයක් හරි උපයා ගැනීමට ලැබීම ය. නමුත් දැන් ඒ මාර්ගයත් වැසී ඇත්තේ ආණ්ඩුව වී මිලට ගෙන අවසන් බැවිනි. මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වී අලෙවි මණ්ඩලය හරහා ගබඩා 39 විවෘත කොට වී මිලට ගනු ලැබූ ලැබුවේ නාඩු වී කිලෝවක් රුපියල් 95 ටත් සම්බා වී කිලෝව රුපියල් 100 කටත් සහ කීරි සම්බා වී කිලෝව කිලෝවක් රුපියල් 105 කටත් වශයෙනි.

නමුත් ගොවීන් පවසනුයේ දැන් පවතින නිෂ්පාදන වියදමත් සමග අවම වශයෙන් වී කිලෝවක් සඳහා රුපියල් 130 ක පමණ මුදලක් වත් දිය යුතු බවය. ගොවීන් රු. 130 ක් ඉල්ලා සිටින විට පෞද්ගලික වෙළෙඳුන් වී මිලට ගන්නේ රුපියල් 70ට 80 ට ය. ගොවීන් පවසන්නේ මේ වන විට වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් සීයක් පමණ වී ඇති බවයි. නිසි මිලක් එනතුරු වී ටික ගබඩා කර තබා ගැනීමට ගොවියාට පහසුකම් නැත. ගබඩා පහසුකම් තිබුණත් එසේ තබාගෙන සිටීමට තරම් වත්කමක් ගොවියාට නැත. එමෙන්ම වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමද තවත් ගැටලුවකි.

විදෙස් රටවල සිටිනා ගොවීන් හා සසඳන කල මෙරට ගොවියෝ අන්ත දිළින්දෝ වෙති. ඊට එක හේතුවක් වන්නේ නිෂ්පාදන වියදම අධික වීමයි. මෙරට වී කිලෝවක් නිපදවන මිලට වඩා හරි අඩකටත් අඩුවෙන් විදෙස් රටවල් වී කිලෝවක් නිෂ්පාදනය කරයි. ඊට හේතු වන්නේ ගොවිතැන යාන්ත්‍රීකරණය වීමයි. අක්කර සිය දහස් ගණනක් එක් ගොවියකු විසින් තමන්ගේ යන්ත්‍ර සූත්‍ර මගින් අස්වද්දන විට මෙරට ගොවියා අක්කරයක් දෙකක් දහ පහළොස් දෙනෙක් යොදාගෙන සාම්ප්‍රදායික ක්‍රම වලට සිදු කරයි. විදෙස් රටවල ගොවියා අක්කර සිය ගණනකට විනාඩි කීපයක් තුළ රසායනික ද්‍රව්‍ය තෙල් පොහොර යොදන විට දහස් ගණනක් වියදම් කර මෙරට ගොවියා දින දෙක තුනක් තම ගොවිතැන වෙනුවෙන් කාලය මිඩංගු කරයි.

එමෙන්ම වෙඩි වැඩි ඵලදාවක් දෙන දෙන නව වී ප්‍රභේද සහ නව තාක්ෂණික ක්‍රම එන රටවල බහුල වශයෙන් භාවිත වේ. තවමත් නවීන ක්‍රමවලින් ඉදිරියට යෑමට මෙරට ජනතාව කැමැත්තක් නැත. මෙරට ගොවිතැන හැමදාමත් පාඩු ලබන්නේ මේ හේතු නිසාය.

කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ආයතන මැදිහත් වී ගොවියා තාක්ෂණයට හුරු කළ යුතුය. අවම සේවක පිරිසගෙන් තම වගාව සිදු කර ගැනීමට හුරු කිරීම, කාලගුණ රටාව වෙනස් වන ආකාරය පිළිබඳ නිරන්තර දැනුවත් කිරීම මෙන්ම වගාව සඳහා වැළඳෙන රෝගාබාධ වලට කඩිනමින් නිසි විසඳුම් ලබාදීම සිදුකළ යුතුය.

● සොච්චම් වන්දියක්

ගොවිජනතාව මොන තරම් උත්සාහ දැරුවත් පැමිණෙන ස්වභාවික විපත් වලින් වගාව ආරක්ෂා කර ගත නොහැක. එවන් අවස්ථාවල දී රජය මගින් වන්දි මුදලක් ප්‍රදානය කරනු ලබයි. පසුගිය කාලයේ විශාල වශයෙන් කුඹුරු ඉඩම් විනාශ වූ අවස්ථා කිහිපයක්ම වාර්තා විය. වලව වම් ඉවුර කලාපයේ මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද විශාල වශයෙන් වගාවට හානි සිදු වූහ. ආණ්ඩුව මගින් මේ සඳහා වන්දි මුදල් ප්‍රදානය කරන බව පැවසුවත් තවමත් ඒවා ලැබෙන ආකාරය පිළිබඳ හරිහැටි වාර්තා නොවේ. එසේම ගොවි ජනතාව පවසන ආකාරයට මේ ලබා දෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව ද ඔවුන්ගේ අදහසයි. ආණ්ඩුව විසින් මේ වන විට තීරණය කර ඇත්තේ වගාව සම්පූර්ණයෙන් විනාශ වීම සඳහා අක්කරයකට රුපියල් 40,000ක මුදලක් ගෙවීමටයි. නමුත් ගොවීන් පවසන්නේ දැන් පවතින නිෂ්පාදන පිරිවැයත් සමග අක්කරයක් අස්වැද්දීමට අවම වශයෙන් රුපියල් 70,000 කට වැඩි මුදලක් වියදම් වන බැවින් අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක වත් වන්දියක් ලබා දෙන ලෙසයි.

පසුගිය කාලය මුළුල්ලේම වගාහානි සිදුවූ හැම අවස්ථාවකම වන්දි ලබා ලබාදෙන බව ලබා දෙන බව පැවසුවත් වන්දි ලැබුණු අවස්ථා විරලය. නැතිනම් එම වන්දි මුදල් ලැබෙන්නේ අවුරුදු ගණනක් ඉක්ම වීමෙන් පසුය. විපතට පත් ජනතාවට එයින් ගොඩ ඒමට මගපාදන ක්‍රමයක් මෙරට පාලන තන්ත්‍රය තුළ නැත. මෙවර වගා හානියට වන්දි ලබා ගෙන ලබන කන්නය වපුරන්න බලා සිටින ගොවීන්ට තම වගාව සිදු කරගත හැකි වන්නේ තවත් වසරක් දෙක තුනක් ගිය පසුය.

● තෙල් මිලත් ගොවියාට හරහට හිටී

මේ වනවිට මෙරට කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍රවලට භාවිත කරන ඉන්ධන මිල පෙර පැවති මිල මෙන් දෙතුන් ගුණයකින් වැඩි වී තිබේ. ඒ හේතුව නිසා ගොවීන් දැඩි පීඩාවකට පත් වී තිබේ. කලින් අක්කරයක් සීසෑමට අය කළ මුදල මෙන් දෙතුන් ගුණයක් දැන් ඒ සඳහා අයකරයි. එමෙන්ම ගොයම් කැපීම සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර අයකරන මිලද පෙර පැවතියාට වඩා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. නිෂ්පාදන පිරිවැය මෙලෙස ඉහළ ගියා ගියාට ගොවියාට වී සඳහා ලැබෙන මුදල වැඩි වී නැත. මේ හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණ ගොවියා ය.

● විදුලියෙනුත් ගොවියාට බැට

විදුලි බිල වසරකට දෙතුන් වතාවක් ඉහළ යෑම නිසා වී මෝල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එම නිසා මෝල් හිමියන් තමන්ගේ පාඩුව පියවා ගැනීමට සිදු කරන්නේ ගොවියාගෙන් ගන්නා වී වල මිල තවදුරටත් පහළ දැමීමයි. කොයි පැත්තෙන් බැලුවත් අවසානයේ එම පීඩනය දරා ගැනීමට සිදුවන්නේ ගොවි ජනතාවට ය. එසේම වී මෝල් හිමියන් අනෙක් පැත්තෙන් එම බර පටවන්නේ පාරිභෝගිකයාටය. සහල් මිල දිනෙන් දින වැඩි කරන මෝල් හිමියන් තම නිදහසට පවසන්නේ ඉන්ධන මිල සහ විදුලි බිල වැඩි වී ඇති නිසා සහල් මිල වැඩි කිරීමට සිදුවන බවයි.

රටේ එක පෙදෙසක ගොවියා නියඟයෙන් පීඩා විඳිද්දී තවත් පෙදෙසක ගොවියා වැසි වැඩි කමින් පීඩා විඳී. විදුලි බිලෙන් වී මෝල් හිමියන්ට බර පැටවෙද්දී එය වෙනත් ආකාරයකින් ජනතාව පිට පැටවේ. ගොවියාගෙ පිහිටට සිටින ආණ්ඩුවක් කර අරිද්දී ගොවියාට සිදු වනුයේ සිඟමන් යදින්නටය. දිනෙන් දින ගොවියා ගොවිතැනින් ඈත් වන්නේ මේ නිසාය. ලොව පුරා යුද උණුසුමක් පවතින, දේශගුණ විපර්යාසවලින් ලොව වෙලාගන්නා මෙවන් වකවානුවකදී වගකිවයුතු බලධාරීන් සිදු කළ යුත්තේ නිකරුනේ කල් මැරීම නොව හෙට දවසේ මෙරට ජනතාවගේ බඩ ගින්දර නිවා දැමීමට කටයුතු කිරීමය. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මේ වන විටත් තම නිෂ්පාදන අපනයනයන්ට සීමා පනවා ඇත. ඒ ඉදිරියේදී ඇතිවන ස්වභාවික විපත් හා යුද තත්ත්වයන්ට මුහුණ දීමටය. නමුත් මෙරට පාලකයන් ගොවියා වෙනුවෙන්වත් පාරිභෝගිකයා වෙනුවෙන්වත් පෙනී සිටින ආකාරයක් දක්නට නැත. දෙවන ලෝක යුද්ධය සමයේ මෙන් විශාල යුද කෝලාහල තත්ත්වයක් ඇතිවුවහොත් මෙරට ජනතාවට බඩගින්නේ මිය දෙන්නට සිදු වනවා ඒකාන්තය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment