අලුත් සුරාබදු බලපත්‍ර 172ක් දීලා මාස තුනට 32ක්
“ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධානතම ආදායම් එකතු කරන ආයතනයක් වන අතර, එහි කාර්යක්ෂමතාව සහ යහපාලනය ඍජු ලෙසම රාජ්‍ය ආදායම කෙරෙහි බලපෑම් ඇති කරයි. එම දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි අභියෝග සහ අරමුණු සාක්ෂාත් කර ගතහැකි නායකත්වයක් එකී දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුව ඇත. ඒ අනුව, දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්.ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමටත්, ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ ෂෂ) වශයෙන් දැනට සේවය කරනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.ඩී.එන්.ජයවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීමටත් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ”
සුරාබදු කොමසාරිස්වරයා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඒ අයුරින් සඳහන්ව තිබුණි. කොන්ත්‍රාත්පදනම මත වැඩ බලන සුරාබදු කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ජේ.එම් ගුණසිරි මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වශයෙන් ද කටයුතු කළේය. ඔහු 2024 වර්ෂයේ ජනවාරි මස වැඩ බලන සුරාබදු කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීය.
ජනාධිපතිවරණ සමයේ දී දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පසුගිය කාලයේදී හතරවටින්ම චෝදනා එල්ල විය. ඒ විතරක් හිඟ සුරාබදු ආදායම් එකතු නොකිරීම, බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් බලපත්‍ර තහනම් නොකිරීම ආදි කරුණු කාරණා සම්බන්ධයෙන් ද ක්‍රම හා විධිකාරක සභා රැස්වීම්වලදීත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැඩි චෝදනාවලට ලක්වූහ.
ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරණ සමයේ දී මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කොට තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා ලක්ෂ 200 බැගින් එකතු කළ ලැයිස්තුව තවම ජනතාව දන්නේ නැහැ. එක ලැයිස්තුවක 22ක් ඉන්නවා. තවත් ලැයිස්තුවක 29ක් ඉන්නවා. ජනාධිපති මැතිවරණයට කලින් දා දීපු බලපත්‍ර ද මෙතැන තියෙනවා. මත්පැන් බලපත්‍ර යේ අයිතිකරු වෙනත් අයකුට මාස්පතා කුලීමුදලකට මත්පැන්හල දාගන්න දීලා තියෙනවා යැයි වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේය.
සුරාබදු කොමසාරිස්වරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු සුරාබදු කොමසාරිස් ජේ.එම්.ගුණසිරි මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙසේ සඳහන් කොට තිබුණි.
මත්පැන් බලපත්‍ර විකිණීමක් තමයි අපි කළේ. 2023 වර්ෂයේ සිට ජනාධිපතිවරණයට පෙර දක්වා කාලය තුළ නව මත්පැන් බලපත්‍ර 172ක් නිකුත් කරලා තියෙනවා. එම බලපත්‍ර විකිණීම තුළින් කෝටි 220ක මුදලක් රජයට උපයා දීමට හැකිවුණා. මේ තුළින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට හැකිවුණා. ආදායම් උපදවා ගැනීමට තමයි නව මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළේ යැයි හිටපු සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරන්නේය. ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ඇතැම් මත්පැන් බලපත්‍ර ලබාදී ඇත්තේ ජනාධිපතිවරණ සමයේ දීය. එක් අතකින් එය අල්ලසක් ලබාදීම වැනි ක්‍රියාවකි.
ඒ කොයි හැටිවුවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට තිබූ විගණන වාර්තා ඇසුරින් තොරතුරු රැසක් අපි පසුගිය කාලයේ දී අනාවරණය කළෙමු. එම තොරතුරුවලට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඉස්කාගාර 23 අතුරින් සුරාබදු ආදායම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය සපයනු ලබන්නේ ඉස්කාගාර දෙකකි. එකී ඉස්කාගාර දෙක මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළෙඳපොළ කොටසෙන් සියයට 73ක් දරනු ලබන අතර එම ඉස්කාගාර දෙක රජයට නියමිත අයුරින් බදු මුදල් ගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකකි.
මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළෙඳපොළ කොටසෙන් සියයට 27ක් උසුලනු ලබන්නේ ඉතිරි ඉස්කාගාර 21 මගිනි. රජයට බිලියන ගණන් පොලු තබා ඇත්තේ මෙකී ඉස්කාගාර අතුරින් කිහිපයකි. එම නිසා රජයට හිඟ සුරාබදු ආදායම අදායම් ගෙවීම හා එයට අදාළ ප්‍රමාද ගාස්තු පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කිරීමෙන් රට තුළ මත්පැන් හිඟයක් ඇති වන්නේ නැත.
2023 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා මහ භාණ්ඩාගාරයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 217කි. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එකතුකොට ඇති ආදායම රුපියල් බිලියන171.2කි. 2024 වර්ෂයේ මහා භාණ්ඩාගාරය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 232ක ආදායම් ඉලක්කයක් ලබාදී ඇත.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනි දිනට හිඟ සුරාබදු ආදායම හා එයට අදාළ හිඟ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හත්සිය විසිහයකෝටි, පනස්දෙලක්ෂ, හැත්තෑහතරදහස් දොළහක මුදලක් (7,265,274,012) මුදලක් අයවීමට ඇතත් සුරාබදු නිවේදනවල විධිවිධාන ප්‍රකාරව එම මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. මෙදිනට මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් අයවිය යුතු හිඟ සුරාබදු මුදල හා හඟ ප්‍රමාද ගාස්තුව රුපියල් හත්සිය පහළොස්කෝටි, අනූඑක්ලක්ෂ, හැත්තෑඅටදහස්, හත්සිය, හැත්තෑඅටකි. (7,159,178,778) රා නිෂ්පාදන ආයතන 13කින් අයවීමට ඇති මුදල හැටදෙලක්ෂ, දහඅටදහස් නවසිය හතළිහකි. (6,218,940) මත්පැන් ඉස්කාගාර තුනකින් තුන්කෝටි, දාහතරලක්ෂ, අසූතුන්දහස්, හයසිය දහයක මුදලක් (31,483,610) අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම සුරාබදු හා මත්පැන් නිෂ්පාදන ආයතන 04කින් අපතය සඳහා හිඟ බදු වශයෙන් රුපියල් හයකෝටි අසුතුන්ලක්ෂ, අනූදෙදහස් හයසිය අසූහතරක මුදලක් (68,392,684) අයවීමට තිබුණි.
2019 වර්ෂයේ සිට එක් මත්පැන් නිෂ්පාදන ආයතනයකින් හිඟ සුරාබදු ආදායම සහ ඒ සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් තුන්සිය විසිඑක්කෝටි, හතළිස්තුන්ලක්ෂ, අනූඑක්දහස්, නවසියහතළිස්අටක මුදලක් (3,214,391,948) අයවීමට තිබූ බවද මෙකී වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම දැනට වසර පහක පමණ කාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අයවිය යුතු හිඟ සුරාබදු ආදායම සහ හිඟ ප්‍රමාද ගාස්තු මුදල වූ රුපියල් දෙසිය පනස්තුන්කෝටි, හැත්තෑලක්ෂ, විසිතුන්දහස්, හත්සිය හතළිස්අටක මුදලක් (2,537,023,748) අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම ඉකුත් වර්ෂයේ අවසාන දිනට මත්පැන් නිෂ්පාදන ආයතන 02කින් හා තවත් ආයතන 06කින් වර්තමාන සුරාබදු ආදායම නිසිලෙස නොගෙවීම හේතුවෙන් හිඟ සුරාබදු ආදායම හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් එකසිය හතළිස්කෝටි, හතළිස්අටලක්ෂ, විසිදහස් පන්සියදෙකක (1,404,820,502) මුදලක් අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන් ආයතන තුනකින් තවදුරටත් හෑත්තෑකෝටි, හත්ලක්ෂ, හයදහස්, අටසිය අනූඅටක මුදලක් (700,706,898) මුදලක් හිඟ ආදායම වශයෙන් අයවීමට තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකී වාර්තාවේ සඳහන් වන ආකාරයට ඩබ්ලිව් .එම්.මෙන්ඩිස් සහ සමාගම අවුරුදු පහක් දක්වා වූ කාලය තුළ ( අවුරුදු 01 සිට 05 දක්වා) ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල අසූනවකෝටි, පනස්ලක්ෂ, තිස්පන්දහස් දෙසිය හැත්තෑනවයකි. (895,035,279) සිනර්ජි ඩිස්ටිලරිස් මත්පැන් සමාගම විසින් මෙම කාලය තුළ පැහැර හැර ඇති බදු මුදල රුපියල් හත්කෝටි, තිස්හයලක්ෂ, අනූහයදහස්, හයසිය පනහකි (73,696,651) රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගම පැහැර හැර ඇති බදු මුදල පන්කෝටි, විසිහත්ලක්ෂ, පනස්දෙදහස් පන්සිය හැත්තෑහයක.ි (52,752,576) හිඟුරාන ඩිස්ටිලරිස් සමාගම විසින් ගෙවීමට ඇති හිඟ සුරාබදු මුදල දොළොස්කෝටි, හාරලක්ෂ, හයදහස් එකසිය පනස්දෙකකි. (120,406,152) රෝයල් සිලෝන් ඩිස්ටිලරිස් සමාගම පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් තුන්කෝටි, අසූලක්ෂ, හැටහත්දහස් අටසිය තිස්පහකි (38,067,835) වයඹ ස්පීතු ආයතනය විසින් දැනට වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් විසිහත්කෝටි, හතළිස්තුන්ලක්ෂ, දහතුන්දහස් අසූදෙකකි. වයඹ ඉස්කාගාරය විසින් වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස්හතරකෝටි, හතළිස්ලක්ෂ, පනස්පන්දහස්, එකසියදාසයකි. හිඟ බදු නොගෙවීම මත මෙකී මත්පැන් සමාගමේ බලපත්‍රය අත්හිටු වීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව මෙම සමාගම විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකොට ඇත. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් අවුරුදු 15කට වඩා වැඩි කාලයක සිට රුපියල් එකසිය දොළොස්කෝටි, පනස්දෙලක්ෂ, හැත්තෑහත්දහසක හිඟ බදු මුදලක් (1,125,277,000) සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි ිබවට ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දී තිබුණි. මැකලම් බෲවරි ආයතනය විසින් වසර 15ක වඩා වැඩි කාලයක සිට ගෙවීමට ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස්නවකෝටි, තිස්තුන්ලක්ෂ, හැත්තෑඅටදහස්, පන්සිය හතළිස්හයක.ි (593,378,546) මැකලම් බෲවරිස් නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින අතර එම සමාගම විසින් හිඟ බදු ප්‍රමාණයට සමාන මුදලක් බැංකුවේ තැන්පත්කොට ඇති බවද ක්‍රම හා විධි කාරක සභා වාර්තාවේ සඳහන් වේ.
ඒ විතරක් නොව, සුරාබදු දෙපාර්තමේන්තුවේ යෝජිත ආදායම් පරිපාලන පද්ධතිය ක්‍රියාවට නැංවීම සිදුවන්නේ ඉඹි ගමනේය. කාර්යක්ෂම ආදායම් පරිපාලනය, සේවාදායකයන් සඳහා ඉහළපෙළේ සේවාවක් ලබාදීම, රාජ්‍ය ආයතන හා දත්ත හුවමාරුව විධිමත් කිරීම සහ මානව සම්පත් කළමනාකරණය සඳහා විධිමත් සැපයුම් දාමයක් ක්‍රියාත්මක කිරීම ආදි අරමුණු ඉටුකර ගැනීම සඳහා ආදායම් පරිපාලන ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කරන ලැබීය.
සුරාබදු නිවේදනය අනුව පාරිභෝගිකයා වෙත ළඟාවීමට පෙර සෑම මත්පැන් බෝතලයකම හෝ කෑන් එකක් මතම අනුමත ඩිජිටල් සලකුණ මුද්‍රණය වී තිබිය යුතුය. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය පරීක්ෂා කිරීමේ දී ඩිජිටල් සලකුණ මුද්‍රණය වීම යන විධානය අඛණ්ඩව ක්‍රියාත්මක වී නොතිබුණි. විගණන වාර්තාවට අනුව ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන සමාගමක 2023 වර්ෂයේ ජනවාරි 12 සිට 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 19 දක්වා කාලය තුළ එනම් අවස්ථා 54කදී මුද්‍රණයන්ත්‍රය අක්‍රියව පැවැතුණි. මේ හේතුවෙන් ඩිජිටල් සලකුණ මුද්‍රණය නොවී බියර් බෝතල් 1,335,591ක ප්‍රමාණයක් හා බියර් කෑන් 3,362,568 ක් හඳුනාගෙන තිබුණි. එම බෝතල් හා කෑන් හඳුනාගත් ප්‍රදේශ වෙත නිකුත් කිරීම සහ අපනයනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලිඛිත අනුමැතිය ලබාදී තිබුණි.
මෙම වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු මස 31 වැනි දින කාලය තුළ දී නව සුරාබදු බලපත්‍ර 32ක් ලබා දී තිබුණි.
ලලිත් චාමින්ද