සභාපතිගෙන් ශ්‍රීලනිපය බේරා ගන්න අපි උසාවි යනවා

310

තනතුරු ගැලවූ අමරවීර අලගියවන්න හා දුමින්ද කියති

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු තමන් නෙරපීමට එරෙහිව අද (01දා) අධිකරණයට යන බව පැවසූහ.

සභාපතිගෙන් ශ්‍රීලනිපය බේරා ගන්න අපි උසාවි යනවා

මෛත්‍රී නෝ කතා

අධිකරණයට යන්නේ තනතුරුවලින් ඉවත් කිරීමටත් වඩා සභාපතිවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගැනීමේ අවශ්‍යතාවක් පවතින නිසා බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.

ආණ්ඩුවත් සමග සිටින පිරිස ඉවත් කරන බවට තමන්ට චෝදනා එල්ල කළත් ආණ්ඩුවේ ඇමැතිවරයකු හා විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ල.නි.ප. මූලස්ථානයට ගෙන්වා විශේෂ දේශනයක් පැවැත්වූයේ කුමන අරමුණකින් දැයි සභාපතිවරයා නැවත සිතා බැලිය යුතු බවද දිසානායක මහතා කීය.

විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා පක්‍ෂ මූලස්ථානයට කැඳවන්නේ ඔන්ලයින් පනත ගැන දැනුවත් කිරීමට බව තමන්ට ප්‍රකාශ කර තිබුණත් එවැනි දැනුවත් කිරීමක් සිදු නොවූ බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාට අප්‍රේල් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කර තිබියදී අධිකරණ ඇමැතිවරයා ගෙන්වූයේ කුමන අරමුණකින්ද යන්න අපැහැදිලි බවද පැවසූ ඒ මහතා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා එවැනි ආරාධනයක් ලැබීමෙන් පසු නැවත සිතා බැලීමට තිබූ බවද කියා සිටියේය.

2015 වර්ෂයේදී මෛත්‍රීපාල මහතා ජනාධිපති ලෙස පත් කිරීමට තමා ඇතුළු කිහිපදෙනෙකු විශාල කැප කිරීමක් කර පවුල් වාදයෙන් රට බේරා ගැනීමට යැයි පවසා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර මෛත්‍රීපාල මහතා ජනාධිපති ලෙස පත්කර ගත්තත්, දින 52 ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාව පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ මෛත්‍රීපාල මහතා ජනාධිපති කිරීමට කටයුතු කළ කිසිවකුත් නොදැන බවද දිසානායක මහතා කීය.

තමා ජනාධිපති ධුරයට පත්වූයේ සිය අඹු දරුවන් ඇතුළු පිරිසගේ ජීවිත අවදානමක් ඇතිව බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් එහිදී කැපවීම් කළ තමා ඇතුළු තම පවුලේ සාමාජිකයන් මෙන්ම තවත් කිහිපදෙනෙකුගේ පවුල්වලට එම අවදානම නොතිබුණා දැයි තමා පක්‍ෂ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.

මේ වනවිට පවුල් වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරා ගතයුතු බව එදා කීවත් දැන් එක් පුද්ගලයකුගෙන් පක්‍ෂය බේරා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී ප්‍රකාශයක් කළ ද ඊට සමාන ප්‍රකාශයක් මීට කලකට පෙර ඔහු පැවසූ අතර පක්‍ෂ මූලස්ථානයේදී ඒ සම්බන්ධව මාධ්‍යවල අවධානයට ලක්නොවූ බවද ඔහු කීය. එහිදී මට කෙළවන්න ආවොත් මමත් කෙළවනවා යැයි සභාපතිවරයා කී බවත් පක්‍ෂ නායකයා නිස තමන් ඒවා රැකගෙන සිටි බවත් පැවසූ දිසානායක මහතා සති තුනකට පෙර හෝ පාස්කු ප්‍රහාරය එල්ල කළ පිරිස දැන ගත්තා නම් සති තුනක් බලා සිටියේ ඇයි දැයි ප්‍රශ්නයක් බවත් කියා සිටියේය.

‘දිවයින’ ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමට පිළිතුරු දමින් ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් 140ක් සමග භාරදුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වනවිට දෙදෙනකු පමණක් සිටින තත්ත්වයට පත්ව ඇති බවත්, තමන් නිතරම ප්‍රකාශ කළේ පක්‍ෂය රැකගෙන පක්‍ෂය ආරක්‍ෂා කිරීමට බවත්ය.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කාගෙවත් බූදලයක් නොවන බවත් තමන් ඉන්නා තැන පිළිබඳව කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම් එය මැදහත්ව පිළිගැනීමට නායකත්වය කටයුතු කළ යුතු බවත්ය.

ජාත්‍යන්තරය මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බව කියන පිරිස ඔහුට හොඳ බවත් පක්‍ෂය තිබෙන තත්ත්වය ගැන සත්‍ය පවසන අය ඉවත් කිරීම අනුමත නොකරන බවත් අලගියවන්න මහතා පැවසීය.

තනතුරුවලින් ඉවත් කළ තිදෙනා වෙනුවට නව ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස සරත් ඒකනායක, භාණ්ඩාගාරික ලෙස හෙක්ටර් බෙත්මගේ, ජාතික සංවිධායක ලෙස කේ. පී. ගුණවර්ධන යන මහත්වරුන් පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගේ නිවසේ දුරකථනයට අවස්ථා කිහිපයකදීම කතා කළ නමුත්, එහි සිටි නිලධාරියා කීවේ හිටපු ජනාධිපතිවරයා යම් රාජකාරියක නිරතව සිටින බවත් ඔහු සම්බන්ධ කර දීමට කටයුතු කරන බවත්ය. එහෙත් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment