සාෆ් කුසලාන දිනන්න පුළුවන් කණ්ඩායමක් බිහි කරනවා

121

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්

අපි අන්තිමට සාෆ් දිනලා ලබන වසරට අවුරුදු 30ක් වෙනවා

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වටා බැඳී තිබූ ජාත්‍යන්තර තහනම නම් බැමි දැන් ලිහිල් වී ඇත. මාස හතකට ආසන්න කාලයක් පැවති එම ජාත්‍යන්තර තහනමෙන් මෙරට පාපන්දු ක්‍රීඩාව පසුගිය අගෝස්තු මාසයේදී නිදහස ලැබීය. එදා පටන් නැවත අළුගසා නැගී සිටින්නට වෙර දැරූ පාපන්දු ක්‍රීඩාවට කොළඹ කලාපීය සිව් කොන් තරගාවලිය සුවිශේෂී සලකුණකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් එහිදී කැපී පෙනිණි. එමෙන්ම ලබන වසරේ සාෆ් කුසලාන තරගාවලිය ද පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපන්දු පිටියේ එම නැගීසිටීම සහ ඉදිරි පාපන්දු බලාපොරොත්තු පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සමග “දිවයින ඉරිදා සංග්‍රහය” සිදු කළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – කොළඹ කලාපීය පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම යම් ප්‍රගතියක් පෙන්නුම් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා ඒ ජයග්‍රහණයන් පිළිබඳව සුභපැතුවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙලෙසද?

පිළිතුරු – අපේ ක්‍රීඩාවේ නැගිටීම තමයි එදා රීඩ් මාවත පිටියේදී ලෝකයට පෙන්නුම් කළේ. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා පවා අපේ ඒ දස්කම් ඇගයීමට ලක් කිරීම අපි ලබපු විශාල භාග්‍යයක්. විශේෂයෙන්ම එහිදී අපි ඉතා සාර්ථක ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කළා. දෙවනුව අපේ කණ්ඩායම විශාල ප්‍රගතියක් වාර්තා කළා. අපේ කණ්ඩායම භූතානය පරාජය කළා මෙන්ම පැපුවානිව්ගිනියාව සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තා. තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභී කණ්ඩායම් දෙක ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව තේරීපත් වුණා. කොටින්ම එම තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් වුණා. එමෙන්ම ඊට පෙර අපි යේමනය සමග මෙරට පැවැති තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුණා. යේමනය කියන්නෙ අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක්.

ප්‍රශ්නය – ඒත් අපේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් බහුතරයක් දේශීය ක්‍රීඩකයන් නොවේ. විදෙස් සම්භවයක් සහිත ක්‍රීඩකයන් යොදාගෙන තමයි අපි එදා තරග වැදුනේ. මේ තත්ත්වය අපේ අනාගත දේශීය ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට පැමිණීමට බාධාවක් නොවේද?

ප්‍රශ්නය – අපේම ක්‍රීඩකයන්ට ඒ විදෙස් ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමෙන් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලබන්න පුළුවන්. එදා ක්‍රීඩා කළ විදෙස් සම්භවයක් සහිත ක්‍රීඩකයන් ගොඩක් තරගකාරී ක්‍රීඩාවේ නිරත වන ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයන්. ඔවුන් පැමිණීමෙන් අපේ අයට බාධාවක් වෙන්නේ නැහැ. අපේ රටේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඒ තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් තමයි අපි මේ වැඩ කරන්නේ. අනෙක් අතට අපේ ජාත්‍යන්තර ශ්‍රේණිය ඉහළ ගියාම අපිට හොඳ අනුග්‍රහකයන් පවා හොයා ගන්න පුළුවන්. කණ්ඩායම දක්ෂ නම් අනුග්‍රාහකයන් අප පසුපස එනවා. අපි ඒ තත්ත්වයට පැමිණිය යුතුයි. එදා ක්‍රීඩා කළ විදෙස් සම්භවයක් සහිත ක්‍රීඩකයන් යනු අපේ ලේ තියෙන ක්‍රීඩකයන්. අනික රටේ පාපන්දු ක්‍රීඩාව ජයග්‍රහණයන් ලබන විට පාපන්දු ක්‍රීඩාව වෙනස් තැනකට යනවා. ලෝකයේ බොහෝ රටවල පාපන්දු ක්‍රීඩාව වෘත්තීය මට්ටමේ කර්මාන්තයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අපේ රටේත් ඒ වෘත්තීය මට්ටමට පාපන්දු ක්‍රීඩාව ගෙන ආ යුතුයි. ඒ සඳහා අපි අද කරන කැපවීම දිරවන්නේ නැති ඇතැමුන් කරන චෝදනා අපිට අදාළ නැහැ.

ප්‍රශ්නය – ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති පසුගියදා මෙරටට පැමිණියා. ඔහුගේ පැමිණීම අපේ පාපන්දු ක්‍රීඩාවට මොන වගේ බලපෑමක්ද ඇති කළේ?

පිළිතුර – එම මහතාගේ පැමිණීම කණ්ඩායමට මෙන්ම අපටත් සුභවාදී දෙයක් වුණා. ඔහු අවසන් වරට ලංකාවට පැමිණ තිබුණේ 2018 වසරේදී. දේශපාලන ඇඟිලි ගැසීම් සහ විවිධ ප්‍රශ්න මෙන්ම බාධා කිරීම් නොමැතිව ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දැන් ඉදිරියට යන අයුරු එම සභාපතිවරයා සියැසින් බලා ගත්තා. අපි පාපන්දුව නඟාසිටුවන්න ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඔහු අපිට ප්‍රශංසා කළා. 2022-2023 වසරවලදී දේශපාලන ඇඟිලි ගැසීම් මත නතර වූ මූල්‍ය ප්‍රදානයන් නැවත ලබා දෙන්න ඔහු අපට පොරොන්දු වුණා. එම මුදල දළ වශයෙන් ඩොලර් මිලියන 1.4ක් වෙනවා. එම මුදල ලැබීමෙන් පසුව ඒවා යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරන්න අපිට පුළුවන්. විශේෂයෙන් කොළඹ අවට අලුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තුරඟ තරග පිටිය බදු පදනම මත ලබා ගන්න සූදානමක් තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ මොනවා කිව්වත් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉතා පහළ තත්ත්වයකයි පසුවෙන්නේ?

පිළිතුරු – ඔබ බය නොවී ඉන්න. 1996 ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ ලොකු පෙරළියක් කළා වගේ අපිත් මේ පාර සාෆ් කුසලාන තරගාවලියේදී ලොකු පෙරළියක් කරනවා. ඒ කියන්නේ අපි වසර තිහකට පසුව නැවත සාෆ් කුසලානය දිනනවා. මීට පෙර අවසන් වරට ශ්‍රී ලංකාව සාෆ් කුසලානයක් ජයග්‍රහණය කළේ 1995 වසරේදීයි.

ප්‍රශ්නය – ප්‍රබල ඉන්දියාව, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය ඉදිරියේ එම අභියෝගය ජයගත හැකිද? ඊට හේතුව පසුගිය වසර හය ඇතුළත ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පවා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා. එහෙම තත්ත්වයක් තුළ ඔබ ඇයි මේ වගේ ලොකු බලාපොරොත්තු ලබා දෙන්නේ?

පිළිතුරු – අපි දෙයක් කිව්වොත් එය කරලා පෙන්වනවා. වසර තිහකට පසුව නැවත සාෆ් කුසලානයක් දිනන්න අපි දැන් ඉඳන්ම ලෑස්ති වෙලා ඉන්නේ.

ඒ වගේම එම තරගාවලිය මෙරට තුළ පවත්වන්නත් අපි උපරිම උත්සාහ කරනවා.

ප්‍රශ්නය – ඔබ මීට පෙර ප්‍රකාශ කර තිබුණා මේ වසරේ දෙසැම්බර් 31 ට පෙර ජාත්‍යන්තර තරග 9කදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 199 ස්ථානයට ගෙන එනවා කියලා. අභියෝගයක් ලෙස ඔබ එයට මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර – අපි මේ ජයග්‍රහණ රැල්ලේ ගියොත් අපිට ඊට වඩා තැනකට වුණත් එන්න පුළුවන්. අපි දැන් අපිට ඉහළ කණ්ඩායම් පරාජය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

ප්‍රශ්නය – දිනෙන් දින කල් යන ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ තාක්ෂණික අධ්‍යක්ෂක තනතුරට බාලගිරි දෝෂයද?

පිළිතුරු – අපි ඒ තනතුරු සඳහා ලැබිලා තියෙන ඉල්ලුම් පත්‍ර මේ වන විට අධ්‍යයනය කරමින් පසුවෙනවා. තව නොබෝ කලකින් ඒ පුරප්පාඩු පුරවන්න හැකි වේවි.

ප්‍රශ්නය – ඔබගේ අලුත් පරිපාලන කාලයේ දේශීය පාපන්දු ක්‍රීඩාවට තාම දැනෙන්න මුකුත් කරල නැහැ. එය ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩා සමාජ කරන චෝදනාවක්.

පිළිතුරු – අපි දැන් වැඩ පටන් ගත්තා. පාසල් ළමයින්ගේ පටන් වෘත්තිමය ක්‍රීඩකයන් දක්වා තරගාවලි සංවිධානය වෙමින් පවතිනවා. විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන් ඉලක්ක කරගත් අවුරුදු 19 න් පහළ ජාතික යොවුන් ලීගයක් අපි සංවිධානය කළා. ලීග 55 ක් ඊට එකතු වෙනවා. එතකොට කණ්ඩායම් 440 ක් සහ ක්‍රීඩකයෝ 11000 ක් ඊට ක්‍රීඩා කරනවා. එම තරගාවලියේ මූලික වටය මාස තුනක් පැවැත්වෙනවා. ඊට මාස තුනකට පසුව සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් තරගාවලියක් පවත්වනවා. එමගින් ජාතික මට්ටමට පවා ක්‍රීඩකයන් තෝරාගන්න පුළුවන්.

සාකච්ඡා කළේ

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment