සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය – වට්ස්ඇප් දැමූ කටුගස්තොට ටියුෂන් සර් අත්අඩංගුවට

88

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (12දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු වට්ස්ඇප් ගෲප් සමූහයේ පරිපාලන (ඇඩ්මින්) ලෙස කටයුතු කළ අයකු ද වේ. වට්ස්ඇප් සමූහයේ සාමාජිකයන් 1025ක් සිටින බව මූලික විමර්ශනයේදී හෙළි වී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වැනිදා පැවැති අතර එය සිසුන්ට ලබාදී තිබුණේ පෙරවරු 8.30ටය. කෙසේවෙතත් මෙම සැකකරු පෙරවරු 9.11ට පමණ එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහය වෙත මුදාහැර ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ දැනට ලැබී තිබෙන තොරතුරු අනුව විභාගයට පෙර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට දැනගන්නට නොමැති බවයි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවත් එහි වාර්තාව ලැබීමෙන් පසු අවශ්‍ය පියවර ගන්නා බවත් ජයසුන්දර මහතා පැවසීය. පසුගිය 06 වැනිදා ආරම්භ කළ විභාගය ලබන බදාදා (15දා) අවසන් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment