ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙන්ම ‘බුද්ධාගම’ ලෙසින් හඳුන්වා ඇති ආගම හුදු බුදු දහම නොවේ. එය බුදු දහම කේන්ද්‍ර කර ගත් තවත් ආගමික විශ්වාස ඇදහීම් ජාලයක් සහිත මිශ්‍ර සංස්කෘතික ධාරාවකි. නමුත් එය ද විපරීත කරන ජාවාරම්කරණ ලක්ෂණ මේ කාලයේ අන් කවරදාටත් වඩා ඉස්මතු වෙමින් තිබේ. කිනම් හෝ විජාතික බාහිර බලවේග විසින් මෙහෙයවනු ලබන බවට සැක සිතෙන තරමට ‘බුද්ධාගම’ තුළ පවතින මේතාක් නොනැසී පවතින මූලික බෞද්ධ පරමාදර්ශ මුලිනු`පුටා දමමින් ඉස්මතු වන මෙම විපරීත විකෘති ලක්ෂණ විසින් බෞද්ධ චිරාගත බෞද්ධ ජන වන්දනා ව්‍යුහය ද මුළුමනින් උඩු යටිකුරු කොට ඇති බවක් පෙනේ.

පසුගිය උඳුවප් පුන් පෝය දිනයෙන් ඇරඹි සිරිපා වන්දනා සමය මේ වන විට කෙමෙන් සක්‍රිය වෙමින් තිබේ. සිරිපා වන්දනාව හෙවත් සිරි පා කරුණාව” සඳහා දිනෙන් දින එක් වන වන්දනා කරුවන් සංඛ්‍යාව ඉහළ යෑමෙන් එය සනාථ වේ. ඒ අතර සිරි පා කරුණාව ද නූතන ජාවාරම්කාර පිළිකාවකට ගොදුරු වෙමින් පවතින බව ඒ සම්බන්ධයෙන් විමසුම් කරන ඕනෑම අයකුට වටහා ගත හැක. මීට වසර කිහිපයකට පෙර සිරිපා වන්දනා සමයේ ශීඝ්‍රයෙන් හිස ඔසවන රත් දෝතලු හොර ජාවාරම ද එහි එක් අංගයකි. එය මෙවර ද අන් කවරදාටත් වඩා ප්‍රබල ලෙස හිස එසවීම පිණිස වන සියලු සමාජ සාධක මේ වන විට ද සැකසී හමාර ය. එබැවින්, ඒ සම්බන්ධයෙන් මෙසේ ඔබ දැනුවත් කිරීම කාලීන වැදගත්කමකින් යුතු වූවකැයි අපට සිතේ.

කැඩීම/ ගැලවීම/ කොටසක් හෝ හානි කිරීම සහ විකිණීම තහනම්

ඇතැමුන් රන් දෝතලු යනුවෙන් ද හඳුන්වන රත් දෝතලු කවදත් සබරගමු ගැමි ජනතාවගේ විශේෂ ආදර ගෞරවයකට ලක් වූ පුෂ්පයකි. රතු පැහැයෙන් යුතු වුවද එම පුෂ්පයට ඔවුන් “රන්” යන අභිධානය හිමි කොට ඇත්තේ එම ගෞරවාදරය නිසාම විය යුතු ය. බැලූ බැල්මටම පුවක් ගසකට සමාන බවක් පළ කරන මෙම රත් දෝතලු ශාකය පුවක් ගස අයත් වන තාල කුලයට අයත් ය. Loxococcus rupicola (Thw.)H.Wendl. {amp]Drude (ලොක්සොකොකස් රුපිකෝලා) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙරටට ආවේණික ශාක විශේෂයක් වන රත් දෝතලු මුහුදු මට්ටමේ සිට මීටර් 300 – 1500 අතර නිරිත දිග කඳුකර වැසි වනාන්තර ආශ්‍රිතව සීමිත ව්‍යාප්තියක් දක්වන ශාකයකි. ප්‍රධාන වශයෙන් සබරගමුව ආශ්‍රිත උප කඳුකර වනාන්තරවල සේම ගෙවතු වල ද මෙම ශාකයේ යම් ව්‍යාප්තියක් දක්නට පුළුවන. දිය පහරවල් අසල සෙවන සහිත සිසිල් පරිසරයන්හි සමූහ වාසී කුඩා ගහන හෙවත් ගැමි වහරට අනුව කිවහොත් දෝතලු මණ්ඩි වශයෙන් මෙම ව්‍යාප්තිය දක්නට ලැබේ. 2012 ලෝක සොබා සංසදයේ (IUCN) රතු දත්ත ලැයිස්තු වෙහි EN හෙවත් වඳවී යෑමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස දෝතලු වර්ගීකරණය කොට තිබේ.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් viii උපලේඛනය යටතේ රන් දෝතලු ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබේ. ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම මුළුමනින් ම තහනම් ය. මෙම තහනම පෞද්ගලික දේපළක තිබෙන ශාකයකට පවා අදාළ වේ. එනිසා යම් පුද්ගලයකුට අයත් පෞද්ගලික ස්ථානයක තිබුණද මෙම ශාකයට හානි සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. මෙම ශාකය කැඩීම/ ගැලවීම/ කොටසක් හෝ හානි කිරීම සහ විකිණීම පවා තහනම් ය. එසේ කරන්නවුන් හට රුපියල් දස දහසේ සිට විසි දහස දක්වා දඩ මුදලක් අය කිරීමටත් වසර දෙකේ සිට පහ දක්වා ඒ පුද්ගලයා බන්ධනාගාරගත කිරීමටත් අධිකරණයට බලය තිබේ. මෙම නීතිය පැනවීමෙන් පසු දෝතලු ගසක් ගෙවත්තේ තබා ගැනීම අනවශ්‍ය කරදරයක් සේ ගැමියන්ට සිතෙනු ඇත.

සිරිපා පතුළ පිහිටුවීම සඳහා සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සමන් දෙවියන් විසින් සමනල අඩවියෙන් නෙළා ගත් දෝතලු මල් පූජා කළ බවත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවත් මීට වසර තිස් නවයකට පමණ ඉහත ශ්‍රී පාද අඩවියේ ශ්‍රී පලාබද්දල, ඉහළ පවනැල්ලේ පාරම්පරික ගැමියකු වූ එල්. ඒරොන් මහතා (ඒරොන් මාමා) අප හා කියා තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපගේ මුළු රටින්ම එම පරපුරට අයත් රන් දෝතළු දැකිය හැක්කේ ශ්‍රී පාද හිමය තුළ පමණක් බව ය. මෙය බහුල ලෙසම ශ්‍රී පාද අඩවියේ දක්නට ලැබීම මත සබරගමු ගැමි ජන මනැස තුළ සමන් දෙවියන් හා මෙම ශාකය සම්බන්ධ මෙම සුන්දර පරිකල්පනය ගොඩ නැඟෙන්නට ඇති බව අපගේ වැටහීම ය. සබරගමු උස් බිම් ආශ්‍රිත ගැමියන් බුලත් විටට ගන්නා පුවක් වශයෙන් යොදා ගන්නා විට මේවා දෝතළු පුවක් ලෙස හැඳින්වේ. නමුදු රන් දෝතලු මල මිස ගෙඩිය සමන් දෙවියන් හා සම්බන්ධ කොට නැත.

දෝතලු මංකඩ

හුදෙක් සබරගමු ජනප්‍රවාදයක් වූ මෙම රන් දෝතලු පිළිබඳ රසවත් කතා පුවත සත්‍ය පුරාවෘත්තයක් ලෙස නාගරික සමාජය තුළට පිවිසීම මත අදටත් අන්ධ භක්තියෙන් යුතු දේශපාලනඥයන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් විශේෂිත අනුහස් පතා මෙම මල් පුජා කරනු පෙනෙයි. නමුත් සිරි පා කරුණාව හා දෝතලු මල් පූජාව සබරගමු ජන සංස්කෘතියෙන් වියුක්ත වූවක් ද නොවේ. දෝතලු යන්න හා සම්බන්ධ ග්‍රාම සහ ස්ථාන නාම සහිත මංපෙත් ඔස්සේ පැරණි ශ්‍රී පාද මාර්ග වැටී තිබීම ඒ සඳහා නිදසුනකි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සිරිපා හිමයේ නැගෙනහිර සීමාව ලෙස දැක්විය හැකි “දෝතල්ලංකඩ” වන පෙත එවැනි ස්ථාන නාමයකි. මුලදී දෝතලු මංකඩ ලෙස හැඳින්වුණු මෙය පසුව සුඛෝච්චාරණය සඳහා දෝතල්ලංකඩ ලෙස හැඳින්වෙන්නට ඇත. මංකඩ යන වදනින් හැඳින්වෙනුයේ මෙය පැරණි ගමන් මාර්ගයක් බවය. කලක් රත්නපුර මහ දිසාපති පදවිය ද හෙබ වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන සුනිල් කන්නන්ගර මහතා ඒ අද්දර බොරළුගොඩ- ඉඟුරුදළුව ප්‍රදේශය නිජබිම කර ගත් විද්වතෙකි. “ඉස්සර මේ ගම්වල මිනිස්සු සිරීපාදෙ ගියේ පා ගමනින්. ඒ කාලේ ඔය දෝතලු මලට සිරීපාද වන්දනාවේ ලොකු තැනක් හිමි වුණා. සාමාන්‍ය මල් සිරීපාද වන්දනාවට ගන්න බෑනෙ; අතර මඟදි පරවෙන හින්දා. ඒකට හොඳම විකල්පය තමයි දෝතලු මල. ඉස්සර මෙහේ මිනිස්සු සිරීපාදෙ ගියෙ කණ්ඩායම්; ඒ කියන්නෙ වන්දනා නඩ හැටියට. ඒ කණ්ඩායමක නායකයා තමයි නඩේ ගුරා. ඉතින් සිරීපාදෙ ගමනට කලින් දවසේ මේ නඩේ ගුරා දෝතලු මණ්ඩියකට ගිහින් හොඳට මෝරපු දෝතලු ගහකින් එක දෝතලු මලක් කපාගෙන ගෙදර ගෙනත් ඒක සුදු රෙද්දකින් ඔතලා බොහොම ගරු සරු ඇතුව ගෙදර ගෙනත් උස් තැනක තැන්පත් කරනවා. ඊට පස්සේ ඒ දෝතලු මල තමයි සිරි පා කරුණාවේ කේන්ද්‍රීය සංකේතය වුණේ; හරියට පාර්ලිමේන්තුවේ සෙන්කෝලය වගේ. ඒ වගේම වන්දනා නඩේ කොච්චර විශාල වුණත් එක නඩේකට එක දෝතලු මලයි. ඒ හින්දම දෝතලු මල් සිය ගාණක් තියන දෝතලු මණ්ඩියකින් එක සිරී පාද වාරෙකට දෝතලු මල් හතර පහකට වඩා අයින් වුණේ නෑ” කන්නන්ගර මහතා එසේ කීව ද ඉතා මෑතක සිට සිරිපා පද්මය හමුවේ රත් දෝතලු පූජා කිරීමෙන් මහත් ඵල මහානිශංස හිමි වන බවට; විශේෂයෙන් ග්‍රහ අපල දුරු වී ලෞකික සමෘද්ධිය ඉෂ්ඨාර්ථ සිද්ධිය උදාවන බවට නූතන ධනවත් සමාජය අතරේ කටකතාවක් පතුරුවා ඇත. පසුගිය දෙවසර තුළ සබරගමුව ආශ්‍රිතව ඒ සම්බන්ධයෙන් අප විසින් කරන ලද විමසුමක දී එය ඉතා සංවිධානාත්මක ලෙස පතුරුවා හරින ලද පදනම් විරහිත කතාවක් බව සනාථ කළ හැකි සාක්ෂි ද අප හමුවේ ඉදිරිපත් වී තිබේ.

මෙහිදී ඉහත සඳහන් රත් දෝතළු සම්බන්ධ මිථ්‍යා මතය නූතන ධනවත් ප්‍රජාව අතර පතුරුවා හරිනුයේ එම රත් දෝතලු සැපයුම් කරුවන්ගේ ඒජන්තවරුන් ලෙස ක්‍රියාකරන කිහිප දෙනකු බව දැන ගන්නට ඇත. ඔවුන් අතරේ ජ්‍යොතීර්වේදීන් නමින් පෙනී සිටින පිරිසක් ද වෙති. ඇතැම් විට ඔවුන් මේ සඳහා සමාජ ජාල ද උපයෝගී කර ගන්නා බව පෙනෙයි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ මෙන්ම පිට පළාත්වල විවිධ ජාවාරම්වල යෙදීමෙන් පවා සුවිසල් ධනස්කන්ධයන් ඒකරාශී කරගත් පිරිස් වෙත හීන් සීරුවේ ළං වන රත් දෝතලු ඒජන්ත වරු සිරිපා පද්මයට රත් දෝතලු පූජා කිරීමෙන් අත්වන ලෞකික ලාභ ප්‍රයෝජන ගැන පට්ටපල් කෙබර ඇද බාති. එසේ ඔවුන් ගේ වදන් විශ්වාස කරන එම ධනවතුන් තුළ මතු වන ඊළඟ ගැටලුව වනුයේ අප රටේ මධ්‍යම කඳුකරයේ පමණක් දැකිය හැකි දුර්ලභ ශාකයක් වන රත් දෝතළු මලක් හිමි කර ගන්නේ කෙසේද? යන්න ය.

ධනවතුන්ට ගිල්වන ‘‘දිරච්ච ලනුව”

“මම දන්න බොහොම විශ්වාසවන්ත කෙනෙකුට කිව්වොත් නම් නොවැරදීම වැඩේ කර ගන්න පුළුවන්. ඒත්, ඉතින් අද ඔහොම මලක් හොයා ගන්න හිමේ පීරන්නම වෙනවා.

අනික ඔය ආණ්ඩුවේ බොරු නීති හින්දා ඔය මලක් අතේ තියා ගෙන ඉන්නවා වනජීවී එකට අහු වුණොත් දන්නවානේ වෙන දේ. ඒ හින්දා කොහොමත් ඔය වැඩේට තරමක කාලයක් යයි. ඒ වගේම එහෙම මලක් හොයා ගත්තොත් ඒක සිරිපා පද්මය ළඟටම ඒ අයට කියලා ගෙන්නා ගන්න පුළුවන්. එතකොට ඔබතුමාට තියෙන්නේ ජීවිතේට එල්ලවෙලා තියන සේරම ග්‍රහ අපල අණ වින හදි හූනියම් සේරම ධූරි භූත වෙන්න කියලා හිතාගෙන ඒ රත් දෝතළු මල ශ්‍රී පාද පද්මෙට පූජා කරලා හිතේ තියන බලාපොරොත්තු සේරම ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න කියලා සමන් දෙවිහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින එක විතරයි. එතකොට ඒක කිරි ගහට ඇන්නා වගේ තමයි ඉතින්”

ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටින ඇතැමුන් විසින් සබරගමුවේත් සෙසු පළාත්වලත් ධනවතුන්ට ගිල්වන ඒ “දිරච්ච ලනුව” සමඟ එම ජාවාරමට සම්බන්ධ සැපයුම් කරුවකුගේ දුරකථන අංකයක් ද ලැබේ. එවිට ඔහු පවසනුයේ ඒ සඳහා සැලකිය යුතු මුදලක් එනම් ලක්ෂ ගණනක් වියදම් කළ යුතු බවකි. එහෙත්, කෝටි ප්‍රකෝටි ගණනක ප්‍රතිලාභ උදෙසා ලක්ෂ කීපයක් වැය කිරීම මොන කජ්ජක්දැයි සිතන ව්‍යාපාරිකයා එම තැරව්කරු හරහා රත් දෝතලු කොන්ත්‍රාත්තුව අදාළ ජාවාරම්කරුට භාර දෙනුයේ ඒ සඳහා වන සුවිසල් අත්තිකාරමක් ද සමඟ ය.

කෙසේ හෝ ඊට සති කිහිපයකට පසුව එළැඹෙන ශ්‍රීපාදස්ථානය වන්දනා කරුවන්ගෙන් පිරී යන දිනයෙක ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවට ආසන්න ස්ථානයක දී එම ධනවතාට රත් දෝතලු මලක් ලැබේ. ඒ සඳහා ගාස්තු ගෙවන ක්‍රම කිහිපයක් ද තිබේ. ඉන් පසුව ඒ ධනවතාට ඇත්තේ ඒ රත් දෝතලු මල ශ්‍රීපාද පද්මය හමුවේ පූජා කිරීම පමණි. නමුදු එම ධනවතා ඒ රත් දෝතලු මල පූජාකොට ආපසු පැමිණීම පිණිස උඩ මළුවෙන් පහළට බසිත්ම ඒ රත් දෝතලු මල ද පුදසුනෙන් අතුරුදන් වෙයි. ඒ එහි පූර්ව සැලසුමකට අනුව උඩමළුවට පැමිණ රත් දෝතලු පූජාවෙන් තම දිවියේ කාමභෝගීත්වය දෙගුණ තෙගුණ කර ගැනීමේ පැතුමින් යුතු තවත් එවැනිම ධනවතකු ගේ දෝතට පත් වන තුරු පමණි. නමුත් මේ ආකාරයට වුව ශ්‍රී පාද අඩවියෙන් හා ඒ අවට වන ගහණයෙන් සැලකිය යුතු දෝතලු මල් ප්‍රමාණයක් ඉවත් කර ගැනෙයි.

මෙම රත් දෝතලු ජාවාරම සම්බන්ධයෙන් ගත වූ දෙවසර තුළ අප වෙත ලැබුණු තොරතුරු එසේ වුවද මෙවර ශ්‍රී පාද වන්දනා සමය තුළ තවම එවැනි සිදුවීම් වාර්තා වී නැත. එහෙත්, මෙවර එම ජාවාරම තවත් ප්‍රබල හා සංවිධානය ලෙස ප්‍රවර්ධනය වීමට අවශ්‍ය සමාජ ආර්ථික පසුබිම මේ වන විටත් නිර්මාණය වී හමාර ය.

ප්‍රභූන් ද මෙම “නීති විරෝධී” පූජාවේ

සිරිපා කරුණාව අස්සේ හිමින් හිමින් හිස ඔසවන රත් දෝතලු මල් හොර ජාවාරම

“අද අපේ සමාජයේ හැම විෂයක් වගේම ජ්‍යොතිෂයත් වල් බිහි වෙලා. ජ්‍යොතිෂය කියන්නේ අති පෞරාණික සිද්ධාන්ත සමුදායක් පදනම් කර ගත්තු දාර්ශනික පදනමක් තියන ගැඹුරු ශාස්ත්‍රයක්. දෙවිවරුන්ට පූජා කරන්න ඕනේ මල් වර්ග මොනවද? කියලා ජ්‍යොතීර්වේද සිද්ධාන්ත කිසිම තැනක නෑ” ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අවිස්සාවේල්ල, මානියංගම ජ්‍යොතීර්වේදී සුනිමල් කුමාරතුංග මහතා එසේ කීය.

“නමුත් අපේ ජන සංස්කෘතියට අනුව දේවාකර්ෂණය ලබන්න පුවක් මල ඉවහල් වෙනවා කියලා ජන විශ්වාසයක් තියනවා. දෝතලු කියන්නෙත් පුවක් වර්ගයකට අයිති දුර්ලභ ශාකයක්. ඒ හින්දා ඒ වගේ දුර්ලභ ශාකයක මලක් පූජා කළාම සුවිශේෂ දේව වරප්‍රසාද ලැබෙනවා කියන සිතුවිල්ල ඕනෑම කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පුළුවන්. මට හිතෙන හැටියට ඔය රත් දෝතලු ජාවාරමේ සුල මුල ඒක තමයි. එහෙම නැතුව ජ්‍යොතීර්වේදය ගැන සැබෑ දැනීමක් අවබෝධයක් වගේම ඒ ගැන ගෞරවයක් තියන කිසිම ජ්‍යොතීර්වේදියෙක් ඒ විෂය ඔය වගේ අවභාවිතාවකට ලක් කරයි කියලා මම නම් හිතන්නේ නෑ”.

ඔහුගේ එම ප්‍රකාශය අනුව මෙම රත් දෝතලු පූජාව ශ්‍රී පාදස්ථානයට පමණක් සීමා වූවක් නොවේ. අප රටේ මහා ථුපය වශයෙන් හැඳින්වෙන අනුරාධපුර රුවන්වැලි මහා සෑය විෂයෙහි ද වරින් වර මෙලෙස රත් දෝතළු මල් පූජා කර තිබෙනු දක්නට පුළුවන. “නමුත් ඕවා මේ නුවර කලාපයේ ගැමියොවත් අපේ රටේ සාමාන්‍ය මිනිස්සුවත් කරන පූජාවල් නොවෙයි. අපේ රටේ ඉන්න ඉහළම ධනවත් බලවත් පිරිස් තමයි ඔය රත් දෝතලු පූජා කරන්නේ” අනුරාධපුර රුවන්වැලි මහා සෑ ආරාමයේ කැප කරුවකුව සිටි ඩී. එම්. මුතුබණ්ඩා මහතා පසුගිය කාලයේ මා හා එසේ පවසා තිබේ. එම තොරතුර කෙතරම් සත්‍යයක් ද යන්න අපට මනාව වැටහී ගියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා තම පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම වෙනුවෙන් 2021 වසරේ නොවැම්බර් 19 වැනිදා අනුරාධපුර රුවන් වැලි මහ සෑය උදෙසා රත් දෝතලු පූජා කරන ඡායාරූප මාධ්‍යවලට නිකුත් වීමත් සමඟ ය. ඔහු සමඟ ඔහුගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් ප්‍රභූන් ද මෙම “නීති විරෝධී” පූජාවේ යෙදී සිටිනු එම ඡායාරූප වල දැක්වෙයි. ඒකාන්ත ලෙසම පාරිසරික අපරාධ ගණයේ නඩු නිමිත්තක් ද වන මෙය පරිසරයට සැබෑ ඇල්මක් දක්වන්නවුන්ගේ හදවත් කම්පා කරවන දසුනක් වූ බවට සැක නැත.

මගේ පෞද්ගලික විශ්වාසය අනුව මෙම නීති විරෝධී රත් දෝතලු මල් පූජාවට නව පණක්; පුනර්ජීවයක් ලැබී ඇත්තේ එම සිදුවීමත් සමගිනි. එය ද මෑත ඉතිහාසයේ අප රට පාලනය කළ අමනෝඥම පාලකයා සේ සැලකෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවිචාරවත් ක්‍රියා කලාපයන් සම්බන්ධ තවත් වැදගත් නිදසුනකි.

ශ්‍රී පාද අඩවිය හා සම්බන්ධ සබරගමු ජන සංස්කෘතික පදනම සම්බන්ධයෙන් 1994-1995 වසර වල මා කළ විමසුමේ දී ශ්‍රී පාද හිමයට මායිම්ව ඇති ශ්‍රී පලාබද්දල මාපලානේ වංශවත් පරපුරකට අයත් චන්ද්‍රසෝම බී කලවාන (කලවානේ පොඩි අප්පෝ) මහතා මා හට සුවිශිෂ්ට දායකත්වයක් දැක්වීය. නමුදු ඉන් වසර කිහිපයකට පසුව ඔහු ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් වූ අතර අද වන විට උන්වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිසල අරමක ආධ්‍යාත්මික දිවි පෙවෙතකට පිවිස සිටිති.

“දෝතළු මලයි සිරීපාද වන්දනාවයි අතරේ විශාල සම්බන්ධයක් ඉස්සර ඉඳලම සබරගමු ජන විඥානයේ තිබුණා. නමුත් ඒ කාලේ අද වගේ දෝතලු ගස් වඳවෙලා තිබුණේ නැහැ. ඒත්, අද ඔය කියන රත් දෝතලු මල් පූජා උමතුව සමාජයේ තෘෂ්ණාව අසීමාන්තික විදිහට ඉහළ යෑම මැනැවින් පෙන්වන කැඩපතක්. ඒක විතරක් නෙවෙයි දවසින් දවසම ජන සමාජය තුළ ප්‍රවර්ධනය වෙන මේ තෘෂ්ණාභරිත බව නිසා රටක් සමාජයක් විදිහට බිහිසුණු ප්‍රතිවිපාක අත් වෙන්න පුළුවන්. ජනතාවගේ සිත් තුළින් කාමභෝගීත්වය මත පදනම් වුණු මේ අසීමාන්තික තෘෂ්ණාව කියන ක්ලේශ මූලයන් සමනය කිරීම හැරුණු කොට මේකට වෙන විසඳුමක් අපිට නම් පේන්නේ නැහැ” උන් වහන්සේ අවධාරණය කරති.

සමාජීය වශයෙන් බලන විට මේ වන විට නව ලිබරල්වාදය අසීමාන්තික ලෙස ප්‍රවර්ධනය අප සමාජය තුළ සිදුවිය යුතු සැබෑ දේශපාලන සමාජ අර්ථික වෙනසක් පිළිබඳව අනියමින් ඉඟි කෙරෙන චන්දිමාලෝක හිමියන්ගේ එම ආධ්‍යාත්මික ප්‍රකාශය තුළින් වැඩිදුර සිතීමට යමක් ඔබ හමුවේ ශේෂ වී තිබේ. එබැවින් ඒ සම්බන්ධ පසුවදනක් තබා අකුරක් වත් මෙහි සටහන් නොකරන මම මෙම ලිපියට සෘජුවම නැවතුම් ලකුණ තබා නිහඬ වෙමි.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment