ත්‍රීකුණාමලේ බෞද්ධ ත්‍රිකූටයේ අනාගත ඉරණම

615

දුරාතීතේ දී ත්‍රිකුණාමලය හඳුන්වන ලද්දේ ගෝකර්ණය යනුවෙනි. ගෝණ කර්ණය යනු ගෝණ විසින් පාලනය කරන ලද ප්‍රදේශයයි.මෙහි තිබෙන වරාය එකල ලෝකයේ තිබූ හොඳම ස්වභාවික වරායන් අතරින් එකක් විය.මේ ගෝකණ්න වරායේ නෙරා ගිය තුඩුවක කඳු වැටි තුනක් නාවිකයන්ට දිස් විය. ඒ කඳු වැටි තුනේ ස්ථූපයන් තුනක් සෑදීම නිසා සාගරයේ යාත්‍රා කරන්නන් ඒ ස්ථානය විශේෂ කොට සැළකූහ. වර්තමාන නැගෙනහිර පළාතේ මුහුදට විවර වන සියලුම කඳු වැටිවල මෙලෙස බෞද්ධ ස්ථූපයන් සෑදීම එකල සිරිතක් විය. ඒවා ප්‍රදීපාගාර නොවේ. නැතිනම් නාවිකයන්ට මඟ පෙන්වන ස්ථාන නොවේ. ලොව පුරා සිටින බෞද්ධ ජනතාව ලංකාවට ආකර්ෂණය කරවන වැදගත් සන්ධිස්ථානයන් විය. මන්ද ඒ වන විට ලොව පුරා පැතිර තිබූ බෞද්ධ ශිෂ්ඨාචාරය ශක්තිමත්ව දිවමන්ව තිබූ බැවිනි. ඒ ශක්තිය ලංකාවේ ආර්ථිකයට අවශෝෂණය කර ගැනීමට මේ ස්ථාන අතිශයින් වැදගත් විය. ගෝකණ්න වරාය ඉස්මත්තේ මහසෙන් රජු විසින් ඉදිකළ ගෝකණ්න විහාරය සිංහල බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ වැදගත් සිද්ධස්ථානයක් විය. මානවම්ම සහ පස්වන අග්බෝ රජවරුන් එම ස්ථානය වැඩිදියුණු කරමින් තපෝවනයක් ලෙසට සංවර්ධන කළ බව පෙනේ. අග්බෝ රජු විසින් මෙම විහාරය අසල ප්‍රධාන ඝරයක් සකස් කළ ආකාරය මහාවංශයේ දැක්වෙයි.

ත්‍රීකුණාමලේ බෞද්ධ ත්‍රිකූටයේ අනාගත ඉරණම

පසු කාලයේ දී චෝල ආක්‍රමණ සමයේ ඉපැරණි වෙල්ගම් වෙහෙර මෙන්ම ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරයද හින්දු බලපෑමට නතු විය. ගෝකණ්න විහාරය අසබඩ හින්දු දේවාලයක් නිර්මාණය වන්නේ මේ යුගයේදීය. විදේශීය හින්දු සංකල්පය බෞද්ධ සංස්කෘතියට උකහා ගැනීම තුළින් විවිධ ජන වර්ග අතර ඒකාග්‍රතාවයක් ඇති කිරීම එහි අරමුණ විය. පරංගීන් ලංකාවට කඩා වැදුණු දහහතර වන සියවසේ දී ඔවුන්ගේ ආක්‍රමණයට ලක්වූ මුල්ම ස්ථානයක් ලෙසට ගෝකණ්නය සැලකේ. පරංගීන් මෙම විහාරය සුණු විසුණු කර දැමූහ. බුදු පිළිම ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් සියල්ල මුහුදට ඇද දැමූහ. ඉන් පසු වර්ෂ 1623 දී මෙම කඳු ගැටය ඔවුන් ගේ සුපුරුදු බල කඳවුරක් බවට පත්කර ගත්හ. විහාරය සහ දේවාලය විනාශ කරලන්නට ප්‍රථම පරංගීන් විසින් මෙහි එකතු වන ධනයෙන් පණම් 1280 ක් කප්පම් ගත්හ. අනතුරුව දෙවන රාජසිංහයන් ලන්දේසීන් සමග එකතුවී ත්‍රිකුණාමල බලකොටුවට පහර දී අල්වා ගත්හ. බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ – ගලේ කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ යැයි ජන කවියා සඳහන් කළේ මේ වික්‍රමය දැක්වීමටයි.

ත්‍රීකුණාමලේ බෞද්ධ ත්‍රිකූටයේ අනාගත ඉරණම

වර්ෂ 1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහයන් ගිවිසුමක් ඇති කර ගෙන මුහුදු වෙරළේ සිට ගව්වක ප්‍රමාණයක් අත්හරින තෙක් මේ බල කොටුව උඩරට රාජධානිය සතු විය. ඉන්පසු ලන්දේසීන්ගේ යුද මධ්‍යස්ථානයක්ව පැවත පැමිණ 1796 න් පසු මෙම බල කොටුව වැඩිදියුණු කරගත් ඉංග්‍රීසීන් නැගෙනහිර පළාතේ මර්මස්ථානය එය බවට පත් කරගත්හ. මෙම පේද්‍රික් බලකොටුවේ ඉහළ අන්තයේ පැරණි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව පැවති අතර බෞද්ධයන් එයට වන්දනාමාන කළහ. ස්ථූපයේ නටබුන් පැවති බවට පැරණි පේද්‍රික් කොටුවේ සිතියමෙන් තහවුරු වේ. 1927 දී පමණ මෙහි කෝවිලක් ගොඩනැන්වෙන අතර 1964 වර්ෂයේ දී මෙහි පැවති ඉපැරණි බෝධීන් වහන්සේ කෝවිල් කොමිටිය විසින් කපා දමා තිබේ. මුහුදට ආසන්න කඳු ගැටයේ පැවති ස්ථූපයේ නටබුන්ද විනාශ කර දැමෙන අතර කෝවිල ඒ මත සංවර්ධනය කර තිබේ. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයන් නැවත බෝධි රෝපණයක් කරලීමට සැරසුනද ත්‍රිකුණාමලයේ හිටපු දිසාපතිවරයෙක් වන එම්. බී. සේනානායක මහතා විසින් එය වළක්වා තිබේ.

1980 වසරේ දී ගෝකණ්න විහාරය විනාශ කර ඉදිකරන ලද පේද්‍රික් බල කොටුව පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් ගැසට් කර ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ඉපැරණි ගෝකණ්න විහාරය වශයෙන් හෝ පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් ගැසට් කිරීමට පුරාවිද්‍යාව අසමත් වී තිබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ වරින් වර වෙනස් වන දේශපාලන අධිකාරියේ තීන්දු තීරණ මත විහාරය අභිබවා කෝවිල සංවර්ධන ය වීමයි. අචාර්ය සෙනරත් දිසානායක මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙක් කටයුතු කරන සමයේ මෙම කෝවිලේ නන්දි ගව ප්‍රතිමාවක් තැන්පත් කිරීමට අවසර ඉල්ලා කෝවිල් කොමිටිය පුරාවිද්‍යාව දැනුවත් කළද එයට අවසර නොලැබුණි. නමුත් අනුර මනතුංග මහතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් වූ පසු ඉහළ දේශපාලන අධිකාරියේ බලපෑම් මත එයට අවසර දී ඇත. මෙම අවසරය ලබා ගැනීමේ දී එවකට සිටි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා විසින් දිගින් දිගටම අධ්‍යක්ෂ ජනරාල්තුමාට ලිපි යොමු කළ ආකාරය නිරීක්ෂණය වෙයි. එහිදී ඔහු අවධාරණය කර තිබෙන්නේ හින්දු බැතිමතුන් ගේ අවශ්‍යතාවය පමණකි. ඉපැරණි ගෝකණ්න විහාරය පිළිබඳව හෝ ඒ ස්ථානයේ කළ යුතු කළමනාකරණ සැලැස්මක් පිළිබඳව හෝ කල්පනා නොකොට කටයුතු කිරීමද නිරීක්ෂණය වෙයි. මෙහි ප්‍රතිඵලය ව ඇත්තේ මෙහි තිබූ කෝනේශ්වරන් නමැති හින්දු කෝවිල කඩා පරංගින් විසින් බලකොටුව ඇටවූ බවට ව්‍යාජ ඉතිහාසයක් දේශීයව සහ ජාත්‍යන්තරව සමාජගත වීමයි. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වූ එම්. එච්. සිරිසෝම මහතා සන්සොනි කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලින් මේ බොරුව කුමක්දැයි පැහැදිලි ලෙසට ප්‍රකාශයට පත් වී තිබේ.

පසුගිය කාලයේ දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය වෙනස් විය. ඉන්දියාවට හිතැති පුද්ගලයකු ආණ්ඩුකාර ධුරයට පත් කරන ලද්දේය. ඔහු පත්වීමෙන් පසු මෙම ස්ථානය පුරාවිද්‍යා නීතියට පටහැනි ලෙසට කළමනාකරණයට උත්සාහ ගනු ලැබීය. ඉන්දියාවේ ආධාරය සහිතව පේදුරු කොටුවේ හින්දු දාන ශාලාවක් සෑදීම අවසර ඉල්වා සිටියේය. නමුත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරියගෙන් ඊට අවසර නොලැබුණි. එසේම මේ කෝවිල හින්දු පූජා භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කරන්නයැයි ඉල්ලා සිටියේය. එයද වැලකුණේ සිරිසෝම මහතාගේ සන්සොනි කමිෂන් වර්තාව උපුටා දක්වමින් සකස් කළ පුරාවිද්‍යා වාර්තාව නිසාවෙනි. මෙකී කටයුතුවලදී පුරාවිද්‍යා නීතිරීති ද නොසලකා හරිමින් කටයුතු කිරීමට වාචිකව උපදෙස් ඉහළින් ලැබේ. කන්නියා උණුවතුර ළිං පරිශ්‍රය සඳහා සංචාරකයන්ගෙන් ගාස්තු අය කර එය බෞද්ධ පරිසරයක පිහිටි නාන ළිං සමූහයක් බවට හැඟවෙන අවසර පත්‍රයක් නිකුත් කර තිබූ අතර ඒ බෞද්ධ පරිශ්‍රය යන වචන ඉවත් කිරීමට දැඩිව බලපෑම් කර ඇති ආකාරයද නිරීක්ෂණය වෙයි.

මේ තත්ත්වය අද වන විට බෙහෙවින් ඔඩු දුවා ඇත. ඉන්දීය අඛණ්ඩ භාරත් සංකල්පය යටතේ ලංකාවේ හින්දු කෝවිල් සවර්ධනය කර ඒවා සඳහා සංචාරකයන් ගෙන්වා ගැනීමේ රාමායන මංපෙත වැඩසටහන් යටතේ කෝනේශ්වරම ද සංවර්ධනය සඳහා ඉලක්කගත කර තිබේ. ඒ කටයුතු ඒ ලෙස සිදුවුවහොත් පෙර දුන් පුරාවිද්‍යා නියෝග සහ නිර්දේශ ආපස්සට හැරවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වීමයි. ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ආසන්නව තිබෙන මොහොතක අන්තවාදීන් සතුටු කිරීම ඉන්දීය භූ දේශපාලනය සමබරව තබා ගැනීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් ආණ්ඩුවට සිදු වන්නේ ඔවුහු බලය උරගා බැලීමේ තරගයක යෙදී සිටින බැවිනි. දේශපාලන බල පොරය අතරේ අපේ අතීත උරුමය වැනසී යෑම වළක්වාලිය නොහැකිය. ඒ මතුද නොව ඒ අතීත බෞද්ධ උරුමය අකා මකා ව්‍යාජ ඉතිහාසයක නව පරිඡේදයක් ආරම්භ කිරීමද සිදු වනු නියතය. උතුර සහ නැගෙනහිර වෙන් කර ගැනීමට මාන බලමින් සිටින බෙදුම්වාදීන්ට මෙය සුභදායී කාලවකවානුවක් විය හැකිය.

ත්‍රීකුණාමලේ බෞද්ධ ත්‍රිකූටයේ අනාගත ඉරණම

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment