රට යවන දැව අඟුරු කර්මාන්තය පරිසරය වනසයි!

85

තණමල්විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අරඹේකෙම ගම්මානයේ ඉදිකර ඇති අපනයනය සඳහා වන දැව අඟුරු කර්මාන්ත ශාලාවකට විරුද්ධව ජනතා විරෝධයක් එල්ල වී තිබේ. ඒ, කරුණු කිහිපයක් මුල් කරගෙනය. එක පැත්තකින් නියං තත්ත්වය උග්‍රවී අධික පෑවිල්ල නිසා මේ වන විට ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සම්පූර්ණයෙන්ම පාළුවී ඇත. ගොවිතැනක් ආරම්භ කරන්නට නැවතත් මාස් කන්නයේ වැහි වැටෙන තුරු එම ප්‍රදේශයේ ගොවීන් බලා සිටින අතර, පානීය ජලය සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවකට ප්‍රදේශයේ ජනයා පත්ව සිටිති. මේ වන විට වැව්, දිය කදුරු සිඳී, ගස් කොළන් රැකගැනීමේ අවශ්‍යතාව සහ ඒ ඔස්සේ ප්‍රදේශයේ ජල සම්පත රැකගැනීමේ වුවමනාවෙන් මේ දිනවල (රටේම) ජනයා පසුවෙද්දී තියන දැව ටිකත් කපා, ඒ භාවිතයෙන් දැව අඟුරු නිෂ්පාදනය කර රට පැටවීම රටට කොහෙත්ම ගැළපෙන ව්‍යාපෘතියක් නොවන බව විරෝධතා දක්වන ජනතාවගේ අදහසයි. කොහොමටත් මෙය හම්බන්තොට, තණමල්විල වැනි ශුෂ්ක දේශගුණයක් ඇති පළාතකට ගැළපෙන කර්මාන්තයක් නොවේ.

තවත් කරුණක් නම්, මහා පරිමාණ වශයෙන් මෙසේ දැව අඟුරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලෙස දැව ලබාගැනීමට ඇත්තේ කොහෙන්ද යන්නයි. ආක්‍රමණශීලී ශාක වර්ග සහ දැව සංස්ථාවෙන් ඉවතලන ශාක කොටස් භාවිතයෙන් මෙසේ දැව අඟුරු නිෂ්පාදනය කරන බවට අදාළ සමාගම ප්‍රකාශ කර ඇතත්, ඇත්තටම අනාගතයේ සිදුවනු ඇත්තේ එය විය හැකිද…? අවසානයේ වනාන්තර, රක්ෂිත, හා ගෘහාශ්‍රිතව ඇති දැවවලට වින කැටීමක් මේ මගින් සිදුවිය හැකි බැවින්, රටේ වන හානියට මෙම දැව අඟුරු කර්මාන්තය බරපතළ ලෙස බලපානු නියතය. සැබැවින්ම සිදුවිය යුත්තේ මෙවන් කර්මාන්තයක් සිදුකරන කර්මාන්තකරුවා තමන්ට අවශ්‍ය දැව පළමුව තමන් විසින්ම වවාගෙන ඉන්පසු දැව අඟුරු නිෂ්පාදනය කළ යුතු වීමය. එනමුත් තමන්ගේ වත්තේ තිබුණත් ඇතැම් දැව වර්ග කපන්නට අවසර නැත, කැපුවත් සමහර දැව වර්ග ප්‍රවාහනයට අවසර ගත යුතුව ඇත. එසේ හෙයින් මේ දැන් සිදුකරන දැව අඟුරු කර්මාන්තයක් වේ නම්, අහන්නට දෙයක් නැත. ඒ මගින් දැඩි පාරිසරික හානියක් හා රටේ වන සම්පතට අනිවාර්යයෙන් හානියක් සිදුවීම නොවැළැක්විය හැකි කාරණයකි. ඒ දැව ලබාගන්නා මූලාශ්‍රය පැහැදිලි නැති නිසාය.

ප්‍රදේශයේ ජනතාව මෙම කර්මාන්තයට විරෝධය පෑමට තවත් කරුණු තිබේ. එනම්, උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රේරණ කලාපය තුළ පිහිටි මෙම කර්මාන්ත ශාලාවට අනිවාර්යයෙන් පරිසර බලපෑම් තක්සේරු වර්තාවක අනුමැතිය තිබිය යුතු අතර, තවත් පැත්තකින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන වනාන්තරවලටද අදාළ ඉඩම මායිම් වී ඇති බැවින් මෙම කර්මාන්ත භූමියට දැව අඟුරු වැනි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර (බලපත්‍ර) ලබාගැනීම අනිවාර්ය වේ.

රට යවන දැව අඟුරු කර්මාන්තය පරිසරය වනසයි!

මේ කිසිවක් නැතිව ක්‍රියාත්මක වන මෙම දැව අඟුරු කර්මාන්ත ශාලාවට අවසර දුන්නේ කවුරුන්ද යන්න හා මෙයට අනුබල දෙන ප්‍රබලයන් කවුරුන්ද යන්න හෙළිදරව් කරන ලෙසද ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

අදාළ විරෝධතාව වාර්තා කිරීමට ඉකුත්දා මාධ්‍ය කණ්ඩායමක් අරඹේකෙම ප්‍රදේශයට ගිය ගමනේදී අදාළ දැව අඟුරු කර්මාන්තශාලාව නැරඹීමටද එහි ගිය අතර, ඒ වන විටත් අරටු සහිත කැලෑ දැව එම පෝරණු තුළ දහනයට සූදානම් කර ඇති අයුරු දක්නට ලැබිණි. පෝරණු 20 කින් සමන්විත මෙම පෝරණු සංකීර්ණය තුළ අඟුරු ලබාගැනීමට දහනය කරන ලද දැව සහිත සීල් කරන ලද පෝරණුද දැනටමත් දකින්නට ලැබිණි. කෙසේ හෝ මෙම කර්මාන්ත ශාලාව අවට සීමාවෙන් කපන ලද බුරුත කඳන් රාශියක් සොයාගන්නට ගම්වාසීන් සමත් වී ඇත. ඒ අනුව ඔවුන් විසින් කරන ලද පැමිණිලි අනුව අදාළ දැව තොගය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන ගිය බව ගම්වාසීහු පවසති.

කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී කර්මාන්ත ශාලා කළමනාකාරවරයා අප හා අදහස් දැක්වූයේ මෙලෙසය.

රට යවන දැව අඟුරු කර්මාන්තය පරිසරය වනසයි!

“මේ අපේ දෙවෙනි දැව අඟුරු අපනයන කර්මාන්ත ශාලාව. අනික ඇහැලියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනවා. අපගේ මේ සමාගම සියයට 60 ක් ලංකාවේ ව්‍යපාරිකයෙකුටත් ඉතිරි සියයට 40 චීන සමාගමකටත් ලෙසයි පවත්වාගෙන යන්නේ. මේ දැව අඟුරු චීනය, ජපානය, කොරියාව වැනි රටවලට අපි අපනයනය කරනවා. ළඟදි තමයි අපි මේ අරඹේකෙම ඉඩම මිලට ගත්තෙ. ජනවාරි මාසයේ මෙහි කටයුතු ආරම්භ කළා. නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී ඉඩමේ ඇතිවුණු ප්‍රශ්නයක් මත දැනට වැඩ නවත්වලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ මේ ඉඩම උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රේරණ කලාපයට අයත් කියල ප්‍රශ්නයක් ඇවිත් දැන් තාවකාලිකව වැඩ නවත්වල තියෙන්නෙ. නමුත් ඉක්මනින්ම ඒ ප්‍රශ්නේ විසඳෙයි. අනික අපි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක ගිවිසුමක් අනුවයි වැඩකරන්නේ. කලපු අන්දර වගේ ආක්‍රමණික ශාකයක දැවවලින් අපි අඟුරු හදනවා. ඒ වගේම දැව සංස්ථාවෙන් ගන්න වට අඟල් 7-8 දැව කැබලි තමයි මේකට ගන්නේ. සාමාන්‍යයෙන් මේ පෝරණු සංකීර්ණයෙන් එකවර දැව අඟුරු ටොන් 20ක් එකවර හදන්න පුළුවන්. ඒ වගේම දැව ටොන් 90 ක් විතර එකවර අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නවා. මෑතකදී ජනතා විරෝධයක් හටගෙන තිබෙනවා. නමුත්, බලපත්‍ර සම්පූර්ණ කරගත් වහාම අපේ නිෂ්පාදන කටයුතු අපි ආරම්භ කරනවා” යැයි කළමනාකාරවරයා පැවසුවේය.

“අපි මේ සඳහා තේක්ක, කොහොඹ වගේ දැවත් භාවිතයට ගන්න බලාපොරොත්තු වෙනවා. පෝරණුව පදම් කිරීමට ඒ දැව වර්ග භාවිතයට ගත්තා. නමුත් ප්‍රධාන වශයෙන්ම කලපු අන්දර හා දැව සංස්ථාවෙන් ලබාගන්නා දැවවලින් තමයි මීට පස්සේ අපි අඟුරු හදන්නේ.” යැයි කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

එනමුත් ගම්මුන් මෙම කතාව පිළිගන්නේ නැත. ඔවුන් කියන්නේ දැනටමත් බුරුත කඳන් තොගයක් කර්මාන්ත ශාලාව අවට වනරොදවල සඟවා තිබියදී තමන් විසින් සොයාගන්නා ලද බවයි. කොහොඹ වැනි දැව මේ සඳහා යොදා ගන්නේනම් ඉදිරියේදී මහා පරිසර විපතක් ප්‍රදේශයට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නැති බවට ගම්මු චෝදනා කරති. එබැවින් නිදහසට කරුණු වුවමනා නැති බවත්, වහාම පරිසරය වනසන මෙම කම්හල ප්‍රදේශයෙන් ඉවත්කරගන්නා ලෙසත් මහජන උද්ඝෝෂණයේදී හා ජනහමුවේදී ප්‍රදේශයේ සංඝයාවහන්සේ සහ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීහුද රජයෙන් ඉල්ලා සිටියහ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම විරෝධතාව අධ්‍යයනය සඳහා මාධ්‍ය කණ්ඩායමක් එම ස්ථානයට රැගෙන යන ලද අතර, එහිදී අදහස් දැක්වූ පරිසර කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතා කියාසිටියේ පවතින නීති රාමුව යටතේ මීට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට තමන් පසුබට නොවන බවයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment