සිතින් විතරක් පෙම් කරන්නම්… – මුල්ම ගීයට වසර විස්සයි ආරාධනා ඒකනායක

142

සිතින් විතරක්, කුමුදුලියේ, සමාවෙලා, මතකයන් ඔබේ, ළෙන්ගතුකම නෙතඟ තියා, එක දවසක් ඉස්සර වගේ, හිමි සඳු අහිමිව වැනි චාමර වීරසිංහගේ අතිශය ජනප්‍රිය ගීත රැසක පද ගැළපුවේ ඇය. එහෙත් ඔබ දන්නවාද… වසර විස්සකටම ඇයට චාමරව මුණගැහුණේ එකම එක වතාවයි. චාමරට වගේම අපේ රටේ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකටම ගීත රචනා කළ ඇය ආරාධනා ඒකනායක.

ආරාධනා” මොකද වෙන්නෙ මේ දවස්වල?

මේ දවස්වල සාමාන්‍ය විදිහට මගේ ගීත රචනා වැඩකටයුතු කරගෙන යනවා. පසුගිය කාලෙ බොහෝ වෙලාවට අලුත් අය වෙනුවෙන් තමයි ගීත රචනා කළේ.

සිතින් විතරක් පෙම් කරන්නම්… - මුල්ම ගීයට වසර විස්සයි ආරාධනා ඒකනායක

ආරාධනා ගැන තොරතුරු ටිකක් කියමු?

මගේ ගම කැකිරාව. කැකිරාව ප්‍රාථමික විදුහලෙන් සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. මට ඉන්නෙ සහෝදරයන් තුන්දෙනෙක් සහ අම්මයි තාත්තයි. දැන් පදිංචිය කඩවත.

2006 වසරේදී ශ්‍රී එ-ෆ් එම් නාලිකාවේ රැකියාවට සම්බන්ධ වෙනව. එහි වසර දහයක සේවාකාලයකින් පස්සෙ 2015 වසරේදී මගේ දරුවාගේ වැඩකටයුතු වෙනුවෙන් සේවයෙන් ඉවත් වෙනව.

ඔබේ සැමියාත් කලාවට සම්බන්ධයිද?

මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. එහි ඇතැම් වැඩකටයුතු සංගීතයටත් සම්බන්ධයි.

ඔබේ අලුත්ම ගීතය ‘රන් මුදුවක’?

සුපුන් පෙරේරාගේ ‘රන් මුදුවක’ කියන අලුත් ගීතය රචනා කළේ මම’ සංගීතවත් කළේ යසස් මැදගෙදර. බොහෝ කාලෙක පටන් මට වුවමනාවක් තිබුණ අලුත් පරපුර එක්ක වැඩක් කරන්න. මේ එහි මුල්ම අවස්ථාව.

චිත්‍රපටයක් සඳහාත් ගීතයක් රචනා කළා?

ඔව්” වාසල බදුගේ මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘විසල් ආදරේ. චිත්‍රපටය සඳහා මම ගීතයක් රචනා කළා. මේ මාසය ඇතුළත චිත්‍රපටය තිරගත වේවි.

ගී පද රචනයට යොමු වෙන්නෙ කොහොමද?

උසස් පෙළ අවසන් වෙලා ගෙදර ඉන්න කාලෙ තමයි මම ගී පද රචනා කරන්නෙ. ඇත්තටම මම ඒක කළේ විනෝදයට. නමුත් ගීත රචනා වුණත් හරියට කරන්නෙ කොහොමද” ඒක ඉදිරියට ගෙනියන්නෙ කොහොමද කියන දේ ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ.

ඔබේ පද රචනා ගායන ශිල්පියෙක් අතට යන්නෙ කොහොමද?

එක දවසක රන්සිළු ආයතනයෙන් දැන්වීමක් දාලා තිබුණ අලුත් අයගෙ ගී පද රචනා භාරගන්නව කියල. ඒ අනුව මම ලියපු මුල් ගීත හතර ඔවුන්ට යවනව. සිතින් විතරක් පෙම් කරන්නම්” පෙම් සිත රිදුනා රත්තරනේ වගේ තවත් ගීත දෙකක් තිබුණා. ඒ අතරින් තුනක් ඔවුන් තෝරා ගත්තා. පෙම් සිත සහ සිතින් විතරක් ගීත දෙක ප්‍රියන්ත නාවලගේ සහ නවරත්න ගමගේ සංගීතවත් කළා වගේම චාමර වීරසිංහ සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළා. එතැන් පටන් දිගින් දිගටම රන්සිළු ආයතනයට ගීත ලබාදුන්නා. ඒ බොහෝ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණෙ චාමරට. මතකයන් ඔබේ” සමාවෙලා” කුමුදුලියේ” ළෙන්ගතුකම නෙතඟ තියා වගේ ගීත දහයක් පමණ චාමර ගායනා කළා. මේ දුන්න සහයෝගය පිළිබඳව රන්සිළු අධිපති රංජිත් ප්‍රේමලාල් මහත්මයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙන්න ඕනා.

කාලයක් ඔබ ගීත රචනයෙන් ඈත් වෙලා හිටියා?

ඔව්” 2005 වසරෙන් පස්සෙ කැසට්” සී ඩී භාවිත කිරීම අවම වීමත් එක්ක කැසට් කරපු ආයතන ඉන් ඉවත් වුණා. ඒ සමගම මගේ ගීත රචනයත් නතර වුණා.

කොහොමද නැවතත් පෑන අතට ගන්නෙ?

මෑත කාලීනව රිංග් ඉන් ටෝන් සංකල්පය පැමිණීමත් එක්ක බොහෝසෙයින් ගීත රචනා වෙන්න පටන්ගත්තා. ළහිරු මුදලිගේ තමයි මේ සඳහා මාව උනන්දු කරන්නෙ. ඒ අනුව ‘හිත අස්සට හීන ගොඩක්” අනුරාගිනී” ආදරෙයි මං ඔය හිතට තාමත්. වගේ ගීත කිහිපයකුත් මේ කාලයේ මගේ අතින් නිර්මාණය වුණා.

ඔබ ගීත නිෂ්පාදනයට යොමු නොවුණෙ ඇයි?

ඒක ඇත්තටම ලොකු පිරිවැයක් දරන්න වෙන වැඩක්. මගේ මහත්තයා නම් ගීත කිහිපයක් නිෂ්පාදනය කරල තියෙනව. මම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් එකම එක ගීතයක් නිෂ්පාදනය කළා. ඒක නම් කළේ ‘රාවණා මා ඔබේ සීතා. කියල. සංගීතවත් කළේ ශෂිකා නිසංසලා ගීතය ගායනා කළා.

ආරාධනාගේ වෘත්තිය?

ඇත්තටම මම මේ වන විට වෘත්තීයක් වශයෙන් කරන්නෙ ගීත රචනා කරන එක. ඊට අමතරව 2020 වසරේදී ‘පතිබ්බතා. නමින් පොතක් රචනා කළා.

ඔබ ගීත රචනා කළේ චාමර වෙනුවන්ද?

මම චාමරව ඉලක්ක කරල එකම එක ගීතයක්වත් රචනා කරල නැහැ. බොහෝ විට රන්සිළු ආයතනය හරහා තමයි චාමරට මේ ගීත ලැබුණෙ.

චාමරව ඔබට මුණගැහිල නැද්ද?

2004 වසරේදී පළමු වැනි වතාවට සහ අවසන් වතාවට මට චාමරව මුණගැහෙනව. ඒ වන විට ඔහු මගේ ගීතවලින් ගායනා කරල තිබුණෙ සිතින් විතරක් ගීතය විතරයි. ඉන් පස්සෙ ඔහු අසනීප වෙන්න කලින් මහරගම ෂෝ එකකට එන්න කියල ආරාධනා කළා. නමුත් මට සහභාගී වෙන්න බැරි වුණා.

මුණගැහුණ දවසෙ ඔහු මොනවද කිව්වෙ?

එදා චාමර කිව්වෙ ඔයාගෙ ගීතය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ කියල. නමුත් මම හිතනව ඔහු මගේ ගීතය ගායනා කළ නිසා තමයි මමත් අද මෙතන ඉන්නෙ කියල. මෙතනදි ගීතයට සම්බන්ධ වුණ සියලු දෙනාටම ක්‍රෙඩිට් එක යන්න ඕන.

මේ ගීතවල තියෙන්නෙ ඔබේ අත්දැකීම්ද?

මුලින් අපි ගීතයක් ලියනකොට වෙන වෙනම හොයල ලියන්නෙ නැහැනෙ. තමන්ට දැනෙන දෙයක් තමයි ලියන්නෙ.

පළමු පෙම්වතා ගීතයට දොස් අහන්න වුණා කියල ආරංචියි?

මේ ගීතය ලියැවෙන්නෙ හින්දි චිත්‍රපටයක් බලමින් ඉන්න අතරතුර. බොහෝ දෙනෙක් මේ ගීතයේ තේරුම හැටියට ගත්තෙ පිරිමි ළමයි ගොඩක් ආශ්‍රය කරන ගැහැනු ළමයෙක් ගැන කියන දෙයක් හැටියට. ඒ පළමු පෙම්වතා කියන වචනය නිසා. මෙතන පළමු පෙම්වතා කියන දෙයින් තවත් පෙම්වතෙක් නැහැ කියන තේරුම තියෙන්නෙ. මේ වචනය අල්ලගෙන බොහෝ දෙනෙක් මට දොස් කියල තියෙනව. විශේෂයෙන්ම මේ ගීතයට යොදල තිබුණ විෂුවල් එකක් නිසා මේ තත්ත්වය තවත් වැඩි වුණා.

ගීතයකට විෂුවල් එකක් වුවමනාමද?

ඇත්තටම මම නම් කියන්නෙ ගීතයකට විෂුවල් එකක් අවශ්‍ය නැහැ කියල. කෙනෙක් ගීතයක් අහද්දි ඒ තමන්ගේ කරගෙන අහන තරමට තමයි ඒක දැනෙන්නෙ.

ලියපු ගීත කීයක් විතර ළඟ තියෙනවද?

මං හිතන විදිහට ගීත තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනව.

සංගීතය හදාරලා තියෙනවද?

පාසලේ 6 ශ්‍රේණියේ පටන් සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදෑරුවා. නමුත් එතනින් එහාට ඉගෙනගන්න මට දැනුණෙ කම්මැළිකමක්.

මේ තරම් ගීත ලිව්වත් ඇයි ගායනා නොකළෙ?

අවුරුදු පහකට විතර කලින් ප්‍රියන්ත නාවලගේ අයියා ගීතයක් කරල දුන්නා. නමුත් ගායනා කළාට පස්සෙ මට හරිගියේ නැහැ. අදටත් සමහර වැඩසටහන්වලට කතාකරනව. ගීත ගායනා කරන්න තියෙනව කිව්වම මම බැහැ කියනව.

කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැතිද?

ඇත්තටම සිතින් විතරක් ගීතය ලියල 2023 වසරට වසර විස්සක් වුණා. මේ නිසා කොන්සර්ට් එකක් කරන්න අදහසක් තිබුණ. නමුත් චාමරගෙ අසනීපයත් එක්ක ඒක මහහැරුණා. මොකද ඔහු නැතිව මගේ ප්‍රසංගයක් කරන එක හිතන්න බැහැ.

ආරාධනාගේ අතින් ලියැවුණ ගීත ගායනා කළ ගායක ගායිකාවන් ගැන මතක් කළොත්?

චාමර වීරසිංහ” ශෂිකා නිසංසලා” දමිත් අසංක” සුරේන්ද්‍ර පෙරේරා” ප්‍රදීප් රංගන” ලක්‍ෂමන් හේවාවිතාරණ” අතුල අධිකාරි” අතුල ශ්‍රී ගමගේ” ”චන්ද්‍රසේන හෙට්ටිආරච්චි” ” නෙලූ අධිකාරී” ”නදීර නෝනිස්” අසංක ප්‍රියමන්ත” අජිත් මුතුකුමාරණ” සුභානි හර්ෂණී” දිමංක වෙල්ලාලගේ වැනි අය මගේ ගීත ගායනා කරල තියෙනව.

ඔබ නොලියන ගීත මොනවාද?

මම ප්‍රතිපත්තියක් හැටියට දේශපාලකයන් වෙනුවෙන් ගායනා කරන ගීත ලියන්නෙ නැහැ.

ටෙලි නාට්‍ය සඳහාත් ගීත රචනා කළා?

ඔව්” ගිය අවුරුද්දෙ තමයි එහෙම අවස්ථාවක් ලැබුණෙ. ජාතික රූපවාහිනියේ විකාශය වූ කොරියන් ටෙලි නාට්‍ය තුන හතරකටම ගීත රචනා කළා. ‘මතක සිත්තම්’” සිහින චාරිකාවේ’ වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම ගීත රචනා කරල තියෙනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment