උඩු ගුවනේ සැරිසරන පාරදිගේ ආන්‍යා – දේශානි නෙහාරා

227

පාරදිගේ ටෙලි නාට්‍යයේ ‘ආන්‍යාගේ. චරිතය හරහා ඔබ අතරට සමීප වුණු දේශානි නෙහාරා මොනවද කරන්නේ කියලා ඔයාල ඇත්තටම හොයනවා ඇති. ඇත්තටම දේශානි මොනවද කරන්නේ කියලා අපිත් හොයලා බැලුවා. ඉතිං ඔන්න එයා සුපුරුදු විදිහට රස්සාවක් කරනවාලු. ඇගේ අලුත්ම විස්තර මෙදා සැරේ ‘මීවිත’ තුළින් අපි ඔයාලට කියන්න අදහස් කළා.

දේශානි කොහොමද?

මම ගොඩක් හොඳින් ඉන්නවා.

මොකද වැඩි සද්ද බද්දයක් නැත්තේ?

සද්දයක් නැතිව නෙමෙයි. මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුලයි. ඒකයි එහෙම හිතෙනවා ඇත්තේ.

උඩු ගුවනේ සැරිසරන පාරදිගේ ආන්‍යා - දේශානි නෙහාරා

ඇයි රඟපෑමෙන් ඉවත් වුණා නේද?

අනේ නැහැ. රඟපෑමෙන් ඈත් වුණේ නැහැ. රඟපෑම අතරතුර රැකියාවට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. දැන් රැකියාවත් එක්ක මම පොඩ්ඩක් කාර්යබහුල වුණා. රැකියාව කරන ගමන් රඟපෑමත් කරගෙන යන්න තමයි තීරණය කළේ. මම රඟපෑම නම් කොහොමත් අතහරින්නේ නැහැ.

ඇත්තද මේ විදෙස්ගත වුණා කියන්නේ?

මම දැන් එයාර් එරබියා ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් විදිහට රැකියාව කරන හින්දා තමයි මම විදෙස්ගත වෙන්නේ. දැන් මම මෙහෙට වෙලා ඉන්නවා. කොහොමත් මාසෙකට සැරයක් ලංකාවට එනවා.

උඩු ගුවනේ සැරිසරන පාරදිගේ ආන්‍යා - දේශානි නෙහාරා

රඟපෑමට අලුත් ආරාධනා ලැබුණාද?

රඟපෑමට අලුත් ආරාධනා ලැබුණා. මම භාර ගත්තු වැඩකුත් තිබෙනවා. දැන් මම මට පුළුවන් වැඩ විතරයි භාර ගන්නේ.

රංගනයෙන් ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිත්නනේ?

ඇත්තටම මම ජනප්‍රිය වෙන්නේ මම සම්බන්ධ වුණු එකම ටෙලිනාට්‍ය වුණු පාර දිගේ ආන්‍යාගේ චරිතයෙන්. ඉතිං ඒ නාට්‍යයෙන් ලැබුණු ජනප්‍රියත්වය අදටත් ලැබෙනවා. ඒ ගැන ඇත්තටම නිහතමානී සතුටක් තිබෙනවා. මම රැකියාව කරන අතුරතුරේදීත් ලංකාවේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. තවමත් මට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැහැ. මොකද මාව දැන් හරියට දකින්න ලැබෙන්නෙත් නැහැනේ.

උඩු ගුවනේ සැරිසරන පාරදිගේ ආන්‍යා - දේශානි නෙහාරා

ගෙවී ගිය කාලයේ මොනවද කළේ?

ගෙවී ගිය කාලයේ රැකියාවත් එක්ක ගොඩක් කාර්යබහුල වුණා. ෆ්ලයි කරනවා” ගෙදර එනවා” එතකොට හරිම වෙහෙසකාරියි. මුල් කාලයේ නම් ඒක තදින් දැනුණා. දැන් නම් ඒක ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. ඒකට හුරුවුණා. ඔය අතරේ තමයි මාසෙකට සැරයක් ලංකාවට ඇවිත් ලංකාවේ වැඩක් කරලා එන්නේ. මම හීන දෙකක් දැක්කා. මම ඒ හීන දෙකම යම්තාක් දුරකට සාර්ථක කරගෙන තිබෙනවා. මට ඕනෑ නැහැ එක හීනයක් සාර්ථක කරගෙන අනෙක් හීනය බොඳ කරලා දාන්න. රැකියාවට සම්බන්ධ වෙලා අවුරුදු දෙකහමාරක් වෙනවා. ඇත්තටම ඒ කාලේ ෆ්ලයි කරන එකම තමයි කළේ.

රඟපෑමේදී ලොකු චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?

ඔව්. මට සුදුසුනම් විතරයි මම චරිත තෝරා බේරා ගැනීමක් සිදුකරන්නේ. මගේ පෞද්ගලික ජීවිතයට හානිවෙන චරිත භාර ගන්නේ නැහැ. හැබැයි මම අභියෝග භාර ගන්න කැමතියි. වෙනසක් කරන්න පුළුවන් චරිතවලට තමයි කැමති.

එන්න එන්න මේ ලස්සන වීමේ රහස මොකක්ද?

ඇත්තටම එතැන ලොකු රහසක් නෑ. මම අනෙක් අයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කාටවත් ඊර්ෂ්‍යා, කුහකකම් කරන්නේ නැහැ. මට නැති දෙයක් තව කෙනකුට තිබුණොත් මම ඒ කෙනාව අගයනවා. හදවත ලස්සනට තියාගන්න පුළුවන් නම් තමන් ඉබේටම ලස්සන වෙනවා කියලයි මම නම් හිතන්නේ.

ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි එහෙම නැද්ද?

මට ඒක ඒ තරම් ලොකුවට දැනිලා නැහැ. අපි මොන ක්‍ෂේත්‍රයේ සිටියත් කකුලෙන් අදින්න ඕනෑ තරම් අය ඉන්නවා. ඉතිං ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ. මම කොහේ කොතැන ගියත් අනිවාර්යයෙන්ම දුර්වල මිනිස්සු කකුලෙන් අදිවී කියලා දැනගෙන ඉන්නවා. ඒ දේවල්වලින් මගේ ගමන තවත් ශක්තිමත් වෙන එකයි වෙන්නේ. ඉතිං ඒ දේවල්වලට මගේ ගමන කවදාවත් නවත්වන්න බැහැ.

රංගනය වෘත්තියක් කරගන්න අදහසක් නැතිද?

ඇත්තම කිව්වොත් මම දැන් වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. ඒ හින්දා රංගනය මගේ වෘත්තිය කරගන්න බැහැ. ඒත් මගේ අදහසක් තිබුණා රංගනය වෘත්තියක් කරගන්න. හැබැයි මම රංගනය අතහරින්නේ නැහැ.

ඔබේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ළඟ අම්මයි තාත්තයි නැහැ. මොකද මම රැකියාව සිදුකරන්නේ ඩුබායි රාජ්‍යයේ. මම තමයි හැමදේම කරගන්නේ. මම කවදාවත් මගේ දේවල් තනියම කරගත්තු කෙනෙක් නෙමෙයි. හිතේ හයියට තමයි ඒ දේවල් කරගන්නේ. මගේ ජීවිතයේ මුහුණ දුන්නු හැම දෙයක්ම මාව ශක්තිමත් කළා. මම හිතන්නේ මගේ ජීවිතයේ මට ආපු ප්‍රශ්න මාව මුවහත් කළා.

දේශානිත් ආදරවන්තියක්ද?

අනේ නැහැ. මම ඉතිං තනිකඩයි. ආදරවන්තයෙක් ගැන බලාපොරොත්තුවකුත් නැහැ. ආදර යෝජනා නම් ගොඩක් එනවා. මම ඒවා ගැන සලකලා බලන්න කැමති නැහැ. තව ටිකක් මෙහෙම ඉන්න ඕනෑ කියලා හිතුණා. ඇත්තටම තනිකඩ ජීවිතය හොඳයි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment