වසර 120කට පසු ඔස්ට්‍රේලියාවට සැර භූමිකම්පාවක්

702

ඉකුත් ඉරිදා (28දා) රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ හට ගෙන තිබූ භූමි කම්පාව වසර 120කට පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රබලම භූමිකම්පාව බව භූ විද්‍යා පරීක්ෂණ සිදු කරන ‘යෝසයන්ස් ඔස්ට්‍රේලියා’ ආයතනය සඳහන් කර තිබේ. මේ අනුව එම ආයතනය විසින් එම භූමිකම්පාවේ ප්‍රබලත්වය වශයෙන් මුලින් රිච්ටර් මාපකයේ සඳහන් වූ 3.8 ක අගය 4ක් දක්වා ඉහළ දමා තිබේ.මෙල්බන් නගරවැසියන් වැඩි දෙනකුට බලපෑම් එල්ල කරමින් සිදුව තිබූ මෙම භූමි කම්පාවෙන් විනාඩි දෙකකට පමණ පසුව රිච්ටර් මාපකයේ 2.8ක් වශයෙන් සඳහන් වූ පසු කම්පනයක් හටගෙන තිබූ බව වාර්තා වී තිබේ.

මෙල්බන් නගරයේ තදාසන්න ප්‍රදේශයක් වූ ‘සන්බරි’ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන හටගෙන තිබූ මෙම භූමිකම්පාවෙන් දරුණු හානියක් සිදුව නැතත් ඒ අවට පදිංචිව සිටින ඇතැමකු භූමිකම්පාවත් සමගම සිය නිවෙස් සෙලවීම නිසා නිවෙස්වලින් ඉවතට දිව ගිය බව වාර්තා වී තිබිණි. එක් අයකු මාධ්‍යයට පවසා ඇත්තේ තමන් සිටි අහස උසට ඉදි වූ යුරේකා කුලුන මෙම භූමිකම්පාව නිසා සම්පූර්ණයෙන්ම විනාඩි කිහිපයක් ගතවන තෙක් සෙලවුණු බවයි. මෙල්බන් නගරයේ වෙසෙන මිලියන 5.8 ක ජනගහනයෙන් බොහෝදෙනකුට මෙම භූමිකම්පාවේ බලපෑම දැනී තිබූ බව ඔස්ටේ්‍රලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment