සීමානිර්ණ අවසන් වාර්තාව ලබන 30 ට පෙර දෙනවා – ජාතික මැතිවරණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය

89

දේශපාලන පක්‍ෂ, මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන්ගේ යෝජනා සැලකිල්ලට ගෙන සීමානිර්ණ වාර්තාවේ අවශ්‍ය වෙනස්කම් සිදුකර මෙම මස 30 වැනිදාට පෙර අවසන් වාර්තාව ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සීමානිර්ණ වාර්තාවේ ජාතික කමිටුවේ මුල් වාර්තාව ඊයේ (11 දා) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. සීමානිර්ණ වාර්තාව සැකසීමේ කාලසීමාව මේ මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බැවින් අදාළ වෙනස්කම් සම්බන්ධ යෝජනා සැලකිල්ලට ගෙන ඉදිරි කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් ඇතැයිද හෙතෙම පැවසීය. සීමානිර්ණ වාර්තාව සැකසීමේ ජාතික කමිටුව විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවලට ඇති කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම්වල වාර්තා භාරදුන්නත් එය අවසන් වාර්තාව නොවන බව ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් පත්කර ගන්නා නියෝජිතයන් ගණන සැලකිය යුතු ලෙස අඩු කිරීමට සීමානිර්ණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව නිර්දේශ කර ඇත. ඒ අනුව පත් කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයන් ගණන 4,714 ක් බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.
සුජීව තත්සර


advertistmentadvertistment