සුභාරංචිය භුක්ති විඳීමට ඇති බාධා මොනවාද?

476

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුභාරංචිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙරේදා රාත්‍රියේදී ප්‍රකාශයට පත්කරන ලදි. ඒ අතර මේ වනවිට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 5 ත් තවත් ස්වල්පයක් වන සංචිතයක් නිර්මාණය වී ඇති බවද දැනගැනීමට තිබේ. අපි මේ කාරණය සම්බන්ධයෙන් කිසිදු කුහකකමක් නැතුව සතුට පළ කරමු. ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපට විවේචන තිබේ. ජනාධිපති මේ සුබ ආරංචිය දෙන්නට හෝරා කිහිපයකට පෙර පොලිසිය ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවට පහරදී එය විසුරුවා හැරීමට බලය යෙදුවේය. ඒ බලය ක්‍රියාත්මක කළ ගුරු – විදුහල්පතිවරුන් අකුරු කියාදුන් සිසුන් ද පොලිස් නිලධාරීන් අතර ඇතැම්විට සිටින්න ඇත. ප්‍රශ්නය ඔඩුදුවනකම් සිට එය පිටාර ගලන විට ‘මර්දනය’ රාජ්‍ය තන්ත්‍රයන් තුළ එකම විසඳුම කරගත් මුල්ම අවස්ථාව ද මෙය නොවේ. ගුරු – විදුහල්පතිවරු තම දුක් ගිනි කී වතාවක් බලධාරීන්ට කියන්නට ඇත්ද? ප්‍රශ්න හටගන්නා විට ඒවාට කතිකා කර විසඳුම් පමා කිරීම නිසා අන්තිමේ වර්ජන හටගනී. ගුරු – විදුහල්පතිවරු මෙන්ම සෙසු වර්ජන කරන්නවුන් අතර ආණ්ඩු බලයට පත්කරන්නට කතිරය ගැසුවෝ ද වෙති. ඒ බවද අමතක නොකළ යුතුයි. ඒ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයක් ද සක්‍රීය වී තිබේ. ලංකාව මොන තරම් කරුමක්කාර රටක්ද යත් විශ්වවිද්‍යාල තුළ හැමදාමත් කුමක් හෝ වැඩ වර්ජනයක් තිබේ. සමහර කාලවලදී අවුරුද්දේ දවස් 365න් දවස් 360 ක්ම විශ්වවිද්‍යාලවල වැඩ වර්ජන දිනයන් ලෙස හඳුනාගත හැකිය. මේ වර්ජන නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නිකරුණේ කල් මරමින් ස්වකීය ජීවිත නන්නත්තාර වීමේ අවදානමට ලක්ව සිටිති. අවසන් ඵලයේදී සිදුවන්නේ අවුරුදු හතරකින් හෝ පහකින් සරසවි අධ්‍යාපනය නිමකර ගෙදර පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවුරුදු දහයක් හෝ දොළහක් උපාධි නොලැබ සිටින්නට සිදුවීම ය. මේ නිසා මහලු වී රැකියාවක් සොයාගෙන විවාහ දිවියට එළඹෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තම දරුවා පාසල් යන කාලය වනවිට මහලු සීයා කෙනකුගේ පිටත පෙනුමට සමාන වෙයි.

“ඔයා ඉස්කෝලේ එන්නේ සීයා එක්ක නොවේදැයි” සෙසු ළමෝ ඔහුගේ දරුවාගෙන් අසති. ඉන් අදහස් කෙරෙන්නේ අදාළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට ස්වකීය සිවිල් ජීවිතයෙන් විශාල ප්‍රමාණයක් අහිමි වන බවය. අපට දැනගැනීමට ඇති පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනය මගින් මිනිසුන් වයසට යෑම පාලනය කරන බෙහෙත් පෙත්තක් නිපදවා ඇත. මෙයින් සිදුවන්නේ වයසට සාපේක්ෂව ශරීරය ක්ෂය වීම පාලනය කිරීමය. දැනට සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සියලුම දෙනාට ආණ්ඩුවේ වියදමින් මේ පෙත්ත ලබාදිය යුතුය. එවිට විවිධ වර්ජන රැලිවලට හසුවී වයසට යන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ සිරුරේ මතුපිට පෙනුම තරුණ අවධියේම තබා ගැනීමට යම් හෙයකින් පුළුවන් වේ.

ලංකාවේ ග්‍රාම නිලධාරීන් ද වැඩ වර්ජනයකට සහභාගි වීමට අදහස් කරගෙන ඇති බව කියනු ලැබේ. අප මේ තීරුව ලියන මොහොත වන විට එම වැඩ වර්ජනය පටන්ගැනීමේ මූලික වැඩකටයුතු සිදුවෙමින් පැවතිණ. ග්‍රාම නිලධාරියා වූකලී ආණ්ඩුවේ වැඩවලදී අත්‍යවශ්‍යම සේවාව සිදුකරන ආරම්භක නිලධාරියා ලෙස දැක්විය හැකිය. මෙතුමා නැතිව මොන මඟුලක්වත් කරගැනීමට බැරිය. පාස්පෝට් ගැනීමේ සිට අයිඩෙන්ටිටි කාඩ් ගැනීම දක්වාත්, චරිත සහතික ගැනීමේ සිට පොලිස් රිපෝට් ගැනීම දක්වාත් වූ සියලු කටයුතුවලදී ග්‍රාම නිලධාරියා අත්‍යවශ්‍ය ය. ඔවුන් ස්ට්‍රයික් කළ විට රටේ ක්‍රියාත්මක භාවය බිඳ වැටේ. ඒ නිසා දැනට මේ රටේ තිබෙන ප්‍රමුඛ වැඩ වර්ජන කිහිපය විසඳීමේ වගකීම ආණ්ඩුව සතුවෙයි. විශේෂයෙන් ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සහ සරසවි අනධ්‍යයන වැඩ වර්ජනය වහාම විසඳිය යුතුය. නොඑසේ නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුභාරංචිය භුක්ති විඳීමේ හැකියාව අපට නැතුව යනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment