ගනේෂන් රාමචන්ද්‍රන්ගේ මරණය සහ සාපයක් වූ පාපය

924

හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ පදිංචිව සිටි ගනේෂන් රාමචන්ද්‍රන් පසුගියදා මළේය. 39 හැවිරිදි ඔහු තිදරු පියෙකි. රාමචන්ද්‍රන් මියයන්නේ අරක්කු බීමේ තරගයකට සහභාහි වී අරක්කු ලීටර් දෙකකට වැඩි ප්‍රමාණයක් පානය කර කරටියද කැඩී පපුවද හිරවීමෙනි.

ගනේෂන් රාමචන්ද්‍රන් වැනි ගොන් හරකෙකු මියයෑම පිළිබඳ අප තුළ කිසිදු සතුටක් නැතත් ඔහු වැනි අය සමාජයෙන් තුරන් වීම එක් අතකින් සුබදායකය. එහෙත් ඔහුගේ දරුවන් තිදෙනා පිළිබඳ අපට ප්‍රශ්නයක් තිබේ. මෙතැන් සිට මේ දරුවන් තිදෙනා පියාගේ සෙවණ අහිමි නිවසක් තුළ මවගේ කැපකිරීම් යටතේ පමණක් වැඩෙනවා ඇත. මේ නිසා මේ බේබද්දාගේ මරණය negative සහ positive යන අංශ දෙකෙන්ම විග්‍රහ කළ හැකිය.

ලෙදන්ටි වතුයායේ හින්දු කෝවිලේ වාර්ෂික පේරු උත්සවය පසුගියදා පවත්වන ලදී. එම උත්සවයට සහභාගි වූ මී හරක් රැලක් වැනි තරුණ පිරිසක් වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කළ හැකි පුද්ගලයා තේරීමට තරගයක් පවත්වා ඇත. හින්දුවරුන්ගෙන් විශාල කොටසක් vegetarian ලා වෙති. හින්දු ආගම අදහන ඇතැම් බ්‍රාහ්මණ වංශිකයෝ මස් මාළු හා බිත්තර පැත්ත පළාතට නොගන්නා අතර පොළොවෙන් උඩ හැදෙන ආහාර ශාඛ මිස පොළොවෙන් යට තිබෙන ආහාර වර්ග අනුභව කරන්නේ නැත. උදාහරණයක් ලෙස ඔවුහු අර්තාපල්, කැරට්, බීට්, සුදු ලූනු ඇතුළු පොළොවෙන් යට හැදෙන හෙවත් අල හැදෙන බල්බ ස්වරූපයේ ශාඛ අනුභව කරන්නේම නැත. මේ නිසා ඔවුන්ට බොහෝවිට පලතුරු මත පමණක් යැපෙන්නට සිදුවේ. එහෙත් ලංකාවේ සහ ඉන්දියාවේ වෙසෙන ඇතැම් හින්දු වෙජිටේරියන්ලා අරක්කු හා කසිප්පු ද බොති. ඔවුන් කියන්නේ අරක්කු vegetarian පානයක් බවය. මේ ආත්ම වංචනික තර්කය එක පැත්තකින් තර්කානුකූලය. අරක්කු පෙරන්නේ ධාන්‍ය වලිනි. කසිප්පු පෙරන්නේ පලතුරු වලිනි. එම ගෝඩා හැලියට සර්පයන් සහ කබරගොයින් වැටීමද උන් එහිම මියගොස් කසිප්පු පෙරන විට ආසවන නළය දිගේ පෙරී ඒමද මෙහිදී ගණන් ගනු නොලැබේ. එයට හේතුව එය කසිප්පු පෙරන්නාගේ අනුදැනුමෙන් තොරව සිදුවීමය. පේරු උත්සවය යනු හින්දු ආගමික උත්සවයකි. පත්තිනි මාතාවගේ ආශිර්වාදය ලබාගැනීම පිණිස හින්දු මෙන්ම බෞද්ධ බැතිමතුන්ගේද සහභාගිත්වයෙන් මේ උත්සවය පවත්වනු ලැබේ. මේ උත්සවයේ විසිතුරු අංගයක් වන්නේ පේරු කරත්තය හෙවත් වේල් කරත්තයයි. විසිතුරු ලෙස සාදන ලද මේ කරත්තය තුළ මුරුගන්, ශිවන්අම්බල්, ශ්‍රී ගනේෂන්, ශන්දේශ්හුලාරි, පත්තිනි මෑණියන් යන දිව්‍යමය චරිත පහේ ප්‍රතිමා තැන්පත් කරනු ලැබේ. පසුව කරත්තය විසිතුරු විදුලි පහනින් අලංකාර කර හින්දුවරුන් සහ බොදුනුවන් විසින් පාරදිගේ ඇදගෙන යනු ලැබේ. වැඩිම අරක්කු ප්‍රමාණයක් පානය කළ හැකි පුද්ගලයා තේරීමේ තරගය පැවැත්වූ මී හරක් රැල ගනේෂන් රාමචන්ද්‍රන්ගේ ජීවිතය බිලිගෙන ඇත. රාමචන්ද්‍රන් තරගයට ඉදිරිපත් වීමට පෙර සිටම නස්පුක් වන තරමට මත්පැන් පානය කර තිබිණ. මේ තරගයට ඉදිරිපත් වූ තවත් පුද්ගලයකු අධික ලෙස රෝගාතුර වී රෝහල්ගත කර තිබේ. අපගේ අදහස වන්නේ මේ තරගය සංවිධානය කළ තරුණ කැල අනියම් මිනී මැරුමකට වරදකරුවන් බවය. ඔවුන් අල්ලා දණ්ඩ නායකයන් වෙත පමුණුවා හැකි උපරිම දඬුවම ලබාදීම නීතිය සුරකින සහ යුක්තිය පසිඳලන පාර්ශ්වවල වගකීම බව අපි සිහිපත් කරමු. මෙබඳු මෝඩ තරග නිසා මනුෂ්‍ය ජීවිත අහිමිවූ අවස්ථා ඕනෑ තරම් ලංකා ඉතිහාසයේ තිබේ. සමහරු ගංවතුරේ තරගයට පීනන්නට ගොස් මියයති. තවත් සමහරු මහා මුහුදේ තරගයට පිහිනන්නට ගොස් මියයති. මරණය කාටත් පොදුය. එහෙත් එය අකාලයේ නොසිදුවිය යුතු බව අපගේ වැටහීම වේ.

වතුකරයේ සිටින දෙමළ කම්කරු ජනයාගෙන් වැඩිදෙනා මත්පැනට ඇබ්බැහිව සිටිති. ඇත්තම කතාව නම් ඔවුන් මත්පැනට ඇබ්බැහි කරනු ලද ඇති බවය. මේ ඇබ්බැහිකම පටන් ගන්නේ ඉංග්‍රීසීන් මේ රට පාලනය කල කාලයේදීය. දෙමළ වතු කම්කරුවන් දිවා ආහාරයට පෙර හැලි අරක්කු තිප්පලවල් වලට රිංගන බව දැනගත් ඉංග්‍රීසි වතු අධිකාරීහු අරක්කු කරත්තයක් වතු යායටම ගෙන්වා දුන්හ. මේ ජංගම බාර් එකෙන් ණයට අරක්කු පානය කළ හැකිවූ අතර එම මුදල් වතු කම්කරුවාගේ දවස් කුලියෙන් කපාගන්නා ලදී. ලංකාව ආදි කාලයේදී රහමෙර වශයෙන් පානය කළේ රා පමණි. ලන්දේසි ආක්‍රමණිකයෝ ආසවනය කෙරුණු මත්පැන් අපට පුරුදු කළ පළමු ජාතිය වේ. ගනේෂන් රාමචන්ද්‍රන්ගේ මරණයේ පාපය සාපයක් බවට පත්ව මේ රට පාලනය කළ යටත්විජිතවාදීන් අතරේද බෙදී යනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment