හරක් කටයි මොළ හතරයි

1425

ලන්ඩන් නුවර වැන්ඩ්ස්වර්ත් නමැති බන්ධනාගාරයක් තිබේ. මෙය අඩුම ගණනේ අවුරුදු හත් අට සීයක් පැරණිය. බන්ධනාගාරයේ පැරණිකම ඉතිරි කරනු පිණිස එහි ප්‍රධාන තාප්පය මහල් සහිත විශාල ගේට්ටුව සහ සිර මැදිරි කිහිපයක් ඉතුරු කොට ඉතිරි සියල්ලම නවීන තාක්ෂණය යටතේ ඉදිකර ඇත. ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ ත්‍රස්තවාදී සැකකරුවකු වන ඩැනියල් කාලිෆ් නමැති 21 හැවිරිදි තරුණයෙක් මෙහි සිරකොට සිටියේය. කාලිෆ්ට ඇති චෝදනා භයානකය. එබැවින් ඔහු හිර කූඩුවෙන් එළියට ගත්තේ පැය දෙකක් පමණි. ඉතුරු පැය 22 ම ඔහු හිර කුටියෙහි ලැග්ගේය. එංගලන්තයේ හිර කුටිවල මෙට්ටයක් සහිත ඇඳක්, කොට්ටයක්, පොරෝනයක්, රූපවාහිනියක් සහ කෑම මේසයක් තිබේ. මේ කාමර අපේ රටේ මධ්‍යම පාන්තික ගෙදරක කාමරයකට වඩා හොඳය. ඉතින් පාඨකයිනි, මේ කියන 21 හැවිරිදි ඩැනියෙල් පසුගියදා හිර ගෙදරින් පැන්නේය. ඒ මෙසේය. හිරකරුවන් පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, පොරෝනා සහ කොට්ට උර සතියකට වරක් මාරු කෙරෙන අතර ඒවා බන්ධනාගාරයේ washing machine සංකීර්ණය වෙත ගෙනියන්නේ ලොන්ඩරි පාටිය විසිනි. පසුගිය 8 දා රාත්‍රියේදී ඩැනියෙල් කාලිෆ් පොරෝනයක එතුනේය. නැත්නම් ජේලර් කෙනෙක් ඔහු පොරෝනයක එතුවේය. පසුදින මේ ජේලර් සමග කිළුටු රෙදි ගෙනියන්නට ඩැනියෙල්ගේ කුටියට ආ හිරකාරයෙක් රෙද්දෙහි එතුණු ඩැනියෙල් කිළුටු රෙදි කරත්තයට පටවා ගත්තේය. ඊළඟට ඒ මතින් තවත් රෙදි අඩුක් කළේය. ඒ ආකාරයෙන් ලොන්ඩරි පාටිය වෙත ගෙන යන ලද ඩැනියෙල් එතැනදී තවත් අයගේ ආධාර ඇතිව හෝ නැතිව හිරෙන් පැන්නේය. අවුරුද්දට දවස් 365 ක් තිබේ. ලංකාවේ හිර ගෙවල් සහ රැඳවුම් කඳවුරු 100 ට කිට්ටු ගාණක් ඇති අතර සාමාන්‍යයක් වශයෙන් ගත්කල දිනකට එක හිරකාරයකුවත් හිරෙන් පැන යයි. ඒ නිසා අපට මෙය ගණනක් නැත. එහෙත් එංගලන්තයේ එබඳු දේ නොවන නිසා ඩැනියෙල් කාලිෆ් පැන යෑම රටේ සමස්ත බන්ධනාගාර පද්ධතියටම විශාල නිග්‍රහයක් සහ හානියක් වී තිබේ. ඩැනියෙල්ට උදව් කළ ජේලර් මේ වන විට ආගිය අතක් නැත. මේ අය සොයා මේ වන විට සුවිශාල මෙහෙයුමක් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ආරම්භ කර ඇත.

මේ අතර ඉහත සඳහන් සිද්ධියට යම් තරමක සමානකමක් ඇති සිද්ධියක් මීට දෙදිනකට පෙර කොළඹ CID එක ඇතුලේ සිද්ධ විය. පසුගිය මාර්තු 13 දා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා මේ දිනවල CID යේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබේ. මෙසේ ප්‍රශ්න කිරීමට ලක්වෙමින් සිටියදී හරක් කටා පසුගිය 10 දා CID යෙන් පැනීමට ප්ලෑනක් ගැසුවේය. ඒ ප්ලෑන නම් තමන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි පොලිස් නිලධාරීන් 8 කුගෙන් යුත් කණ්ඩායමක් මත්කර පැන යෑමය. ලන්ඩනයේ ඩැනියෙල්ට උදව් කළ ජේලර් මෙන් මේ සිද්ධියේදී හරක් කටාට උදව් කළේ පොලිස් රාළහාමි කෙනෙකි. මුලින්ම, ප්‍රශ්න කිරීම් සිදුවන අතර රාළහාමි නිලධාරීන් අතර කිරි ටොෆි පිඟානක් බෙදා හැරියේය. ඒවාට මත්ද්‍රව්‍යයක් මිශ්‍රකර තිබිණ. කිරි ටොෆිවල රසය අමුතු වූ නිසා ඒවා නොකෑමට නිලධාරීහු තීරණය කළහ. ඉන්පසු රාළහාමි කට්ටියටම කිරි තේ ගෙනාවේය. ඔවුහු ඒවා පානය කළහ. ඉන්පසු ඒ සියලු දෙනාටම කැරකිල්ලක් හැදිණි. මේ අතර තමන්ට චූ බර බව හරක් කටා කිව්වේය. වැසිකිළියට ගෙන යන ලද ඔහු ආපසු එන අතර ආරක්ෂාවට සිටි රාළහාමිගේ තුවක්කුව උදුරාගන්නට තැත් කළේය. එහෙත් එය අසාර්ථක වූ බැවින් හරක් කටාට පැන යන්නට බැරි විය. මේ අවස්ථාවේදී හරක් කටාගේ අවසන් කටයුතු සිදුකිරීමට ඔහුගේ ආරක්ෂාවට සිටි රාළහාමිට හැකියාව තිබූ නමුත් ඔහු එසේ කළේ නැත. එයට හේතුව සැඟවූ ආයුධ බැලීමට පාතාල හෝ ත්‍රස්ත සැකකරුවන් ගෙනයෑමට විවිධ බාධා එල්ලවී ඇති මේ යුගයේදී හරක් කටාට වෙඩි තිබ්බොත් තමාට ගස් යෑමට සිදුවන බව රාළහාමි කල්පනා කිරීම විය යුතුය. කිරි ටොෆි සහ තේවලට මත්ද්‍රව්‍ය දැමූ හරක් කටාගේ මිත්‍රයකු වන රාළහාමි මේ වන විට ආගිය අතක් නැත. ඔහුගේ ඇඳුම් බෑගය පරික්ෂා කිරීමේදී පෙනී ගියේ එය මත් පෙතිවලින් පිරී ඇති බවය. තමා නිදහස් කරදීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් හරක් කටා CID යේ රාළහාමිට ලොකු ගාණක් පොරොන්දු වී ලොකු advanced එකක් දෙන්නට ඇති. පැන යෑම පිණිස CID රාළහාමි තමන්ට උදව් කළ බව හරක් කටා ද පිළිගෙන තිබේ. ඊළඟට හරක් කටාගෙන් ප්‍රශ්න කිරීමේදී සන්නද්ධ STF නිලධාරීන් කැඳවිය යුතු බව අපගේ යෝජනාව වේ.

හරක් කටා යනු අමුතුම පැටන් එකක ඩයල් එකකි. බහුතර බලය සන්නද්ධ පොලිස් නිලධාරීන්ට ඇති අවස්ථාවක CID යෙන් පැන යෑමට තැත් කිරීම ජීවිතය සහ මරණය අතර තිබෙන අවදානමකි. හරක් කටාට එක කටක් පමණක් තිබුණ ද ඔහුට මොළ හතරක් විතර තිබෙන බව අපගේ විශ්වාසය වේ. එයින් එක මොළයකින් ඔහු බියජනක දේ කරයි. දෙවන මොළයෙන් කූට ප්ලෑන් ගසයි. තුන්වෙනි මොළය ඔහු යොදාගන්නේ එම ප්ලෑන් ක්‍රියාත්මක කිරීමට ය. සිව්වන මොළයෙන් ඔහු කරන්නේ පාවාදීම ය. හරක් කටා පොලිසියට අහුවුණ ගමන්ම තමාට උදව් කළ ජේලර් ගැන කතන්දර ගොඩක් කීවේය. ඒ අනුව අවසන් ඵලයේදී ඔහු බොහෝ අපරාධකරුවන්ට පුරුදු පරිදි දරුණු පාවාදීමක් කර ඇත. උදව් කළ රාළහාමි පාවා දීම හරක් කටාලාගේ හැටියට ඒ තරම් දෙයක් වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment