සූර්යා මිථුනයට – තවත් නැකැත් නැති මාසයක්ද

4974

ලබන ජුනි මස 15 දා රවි මෙතෙක් ගමන් කරමින් සිටි වෘෂභ රාශියේ සිට මිථුන රාශියට ගමන් කරයි. මිථුන රාශියේ ජූලි 16 දක්වා රවි ගමන් කරන අතර එය “මිථුන කෝණ මාසය” ලෙස හඳුන්වනු ලැබේ. කෝණ මාසය විවාහ මංගල නැකැත් හා ගෘහාරම්භක නැකැත් නොයෙදෙන කාලයක් බව පොතපතේ සඳහන්ය. මේ බව පහත කවියෙන් විස්තර කර තිබේ.

“කෝණේ කන මඟුල් තුලා කාටත් සකි පල නොදේවි
පානේ තෙල් ඇතත් තිරය එළිය නොදී අඳුර දේවි
මූණේ සහ ඇඟෙ සැටියෙන් අසරණකම පෙනී යාවි
හීනේකින් දුටු දේටත් මේ මස තුළ පල නොදේවි”

කොන් කර ඇති මාස යන අර්ථයෙන් කෝණ මාස යැයි කියනු ලැබේ. මේ නිසා විවාහ මංගල, ගෘහාරම්භ ආදී නැකැත් යොදා ගත යුත්තේ ඒවාට ඉතා හොඳ ග්‍රහ බල ඇති නම් පමණි. පහනේ තෙල් ඇතත් එළිය නොලැබී අඳුර දෙන බවත් මෙම කවියෙන් කියැවෙන පරිදි කෝණ මාසයේ විවාහ හෝ ගෘහාරම්භයේ නැකැත් දුර්වල බව පෙන්වයි. රවි, මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන මාස හතරම කෝණ මාස වශයෙන් හඳුන්වනු ලැබේ.

හිරු මෙතරම් ප්‍රබල ද යන්න විමසා බැලිය යුත්තකි. ග්‍රහ රාජ්‍යයේ රජු හිරුය. සියලු ග්‍රහයන්ට ආලෝකය ලබා දෙන්නේ හිරුය. ආකර්ශනය ලැබෙන්නේ ද හිරුගෙනි. කොටින්ම කිවහොත් “ලොව ඇති සියලු දේ නිපදවෙන්නේ හිරුගේ ආලෝකයෙන් හා මවගේ කිරිවලින්” බව ප්‍රසිද්ධ කියමනකි.

එහෙත් ජුනි 29 දින දක්වා රවි සමග බුධ ද බුධාදිත්‍ය නම් යෝගය උදා කරමින් ගමන් කරයි. මේ නිසා ශාස්ත්‍රීය කටයුතුවලට හා අකුරු කියවීම ආදියට සුබ නැකැත් උදා වේ. ලංකාව හිමි කුම්භ ලග්නයේ විiාස්ථානයේ මෙම යෝගය පවතින නිසා, අධ්‍යාපන අංශවල දියුණුවට කරුණු යෙදේ. එමෙන්ම සිසු දරුවන්ට සුබදායක වේ. බුධ අධිපති වන නිවේදන, ලේඛන, ජ්‍යොතිර්වේදී, නීතිවේදී ආදීන්ට හා බුද්ධිමතුන්ට සුබදායක වේ. පින්වත් දරුවන් ද බිහිවේ.

රවි මාරුව විවිධ ලෙස බලපෑම් කරන අතර මේෂ සිට මීන දක්වා උපන් අයට බලපාන ආකාරය පහත පරිදි වේ.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි මාරුවීම සුබපලදායකයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. අසල්වාසීන් සමග තිබූ අමනාපකම් දුරුවේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට සුබයි. සහෝදර සබඳතා අලුත් වේ. දරුවන්ගේ දියුණුවට කටයුතු කෙරේ.

වෘෂභ

ධනස්ථානයට රවි මාරුවීම මිශ්‍රපලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. නමුත් පවුලේ වියදම් ඉහළ යන බව පෙනේ. තැන්පත් මුදලක් පවා වැය වීමට ඉඩ තිබේ. කතාව නිසා උසස් කෙනකු අමනාප වීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වෙන්න.

මිථුන

වයස පිරුණු මිථුන ලග්න හිමි දූ දරුවන්ට අකුරු කියවීමට සුබයි. උත්සාහය ධෛර්යය ඉහළ යයි. පවුලේ දියුණුවට කරන කටයුතු ගැන වැඩිපුර අවධානය යොමු වේ. ඌෂ්ණාධික රෝග තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වෙන්න. අධ්‍යාපන කටයුතු සාර්ථකයි.

කටක

විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්ථා උදාවේ. නමුත් නීතිමය අංශවල බාධා, ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. බාල සහෝදරයකුට අපලයි. ලිපි ලේඛනවලට අත්සන් කරන විට දුරදිග බලා කටයුතු කරන්න.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ එකොළොස් වැන්නට රවි මාරුවීම සුබදායකයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීම් ලැබීමට ඉඩ ඇත. උත්සාහය ධෛර්යය ඉහළ යයි. උසස් අයගේ හෝ නීතිමය අංශවල උදව් ලැබේ. උසස් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථා උදා වේ.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ දහවැන්නට රවි මාරුවීම ඉතා සුබයි. රැකීරක්ෂා හා ව්‍යාපාර අංශවල විශේෂ සුබපල ලැබේ. රැකියා ලාභ ලැබෙන කාලයකි. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක වේ. උත්සාහය වර්ධනය වේ. පසුගිය දිනවල පැවැති ගැටලුවලට විසඳුම් ලැබේ.

තුලා

රවි නමවැන්නට මාරුවීම මිශ්‍රපලදායකයි. පසුගිය මාසයේ තිබූ ප්‍රශ්න විසඳා ගත හැකි වේ. අසනීපවලින් සුවය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට තිබූ බලාපොරොත්තුවක් ඉටුකර ගත හැකි වේ. ආගම දහමට හිත යොමු වේ.

වෘශ්චික

රවි ඔබේ කේන්ද්‍රයේ අටවැන්නට මාරුවීම තරමක් අසුභයි. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වේ. ඌෂ්ණාධික රෝග විශේෂයි. රැකියා හෝ ව්‍යාපාර අංශයක උසස් කෙනකු අමනාප වීමට ඉඩ තිබේ. පියාට තරමක් අපලයි. අදාළ ශාන්තිකර්ම කරන්න.

ධනු

ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නට රවි මාරුවීම මිශ්‍රපලදායකයි. මේ අතර සෙනසුරු ලග්නයේ ද ගමන් කරන නිසා සිත්තැවුල් අඹු – සැමි භේද, විවාහ බාධා ඇතිවීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලදී ප්‍රශ්න මතුවේ. හවුල්කරුවන් අමනාප වීමට ද ඉඩ තිබේ.

මකර

මකර ලග්න හිමියන්ගේ රවි හයවැන්නට මාරුවීම සුබදායකයි. සතුරන්ගෙන් හා තරගකරුවන්ගෙන් ජය ලැබිය හැකි වේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලැබේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. බොහෝ දේ සාර්ථක කර ගත හැකි වේ.

කුම්භ

පස්වැන්නට රවි මාරුවීම සිදුවේ. පෙම්වතුන්ට සුබයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ආයෝජනවලින් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ.දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උදරාබාධවලින් ප්‍රවේශම් වෙන්න.

මීන

මීන ලග්න හිමියන්ගේ හතරවැන්නට රවි මාරුවීම සිදුවේ. පදිංචිය හෝ ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. නොසන්සුන්කම හා කේන්තිය පාලනය කර ගන්න. ඌෂ්ණාධික රෝග, හෘදයාබාධ වැනි රෝග ඇති අය සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න.

සූර්යා මිථුනයට - තවත් නැකැත් නැති මාසයක්ද

ජ්‍යොතිර්වේදී
සුනිල් කුමාර ගම්ලත්
කෙළින් වීදිය – කෑගල්ල
0771234313

advertistmentadvertistment
advertistmentadvertistment