සෙනසුරු මාරුවයි කටක ලග්නයයි

17

ඈත ආකාශයේ බබළන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය පෘථිවියට හා මෙහි ජීවත් වන මිනිසුන්ට යම් යම් ආකාරයට බලපානු ලබයි.

මෙම ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයකට සිද්ධ වෙයිද කියලා ඔබට හිතා ගන්නවත් බෑ නේද? සෙනසුරු ග්‍රහයාගේ බලපෑම අපේ සිත්වලට තදින්ම දැනෙන බව කිව යුතුව ඇත. සෙනසුරු හෙවත් ශනි කියන මෙම ග්‍රහයා සෑමවිට ම විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් හැටියට බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලබනවා. එම නිසා සෙනසුරුගේ ගෝචර ගමන ගැන හැමෝම දැඩි සැලකිල්ලක් යොමු කරනු ලබනවා.

සෙනසුරු මාරුවයි කටක ලග්නයයි

2025 වසරේ මාර්තු 29 වැනි දින සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා රාශි කේන්ද්‍රයේ හතරවන රාශිය වන කටක ලග්නයේ 09 වැන්නට පිවිසීම හෙවත් මීන රාශියට පිවිසීම නිසා ඇතිවන බලපෑම කොහොමද කියලා අපි බලමු.

කටක ලග්න හිමියන්ගේ 09 වැන්න මීන රාශියයි. මෙම 09වැන්න කියන්නේ භාග්‍යස්ථානයයි. උසස් අධ්‍යාපනය, වාසනාව,පෙර භවයේ කුසල්, විදේශ ගමන්, ආගමට දහමට ඇති ලැදියාව වගේම පියා ගැන බලන්නෙත් මේ 09 වැන්නෙන්ය. කේන්ද්‍රයේ ඇති ශුභ පලදීමේ ප්‍රධාන ස්ථානයත් 09 වැන්නයි. මෙම ස්ථානයට පුණ්‍යස්ථානය, ශුභස්ථානය, තපස්ථානය යනාදී නම්වලින් ද හඳුන්වනු ලබනවා.

මේ ස්ථානයට ශරීරයේ කොටස් වශයෙන් කලවා ප්‍රදේශය ද අයත් වෙනවා.

එහෙමනම් මෙම සියලු ලැබීම් තියෙන කටකයේ 09 වැන්නට මීන රාශියට සෙනසුරුගේ ගෝචර ගමන බලපාන්නේ කොහොමද කියලා බලමු.

කටක ලග්න හිමියන්ගේ 07වැන්න සහ 08වැන්න අධිපතිත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයාය.

ඒ වගේම 07වැන්නෙන් තම විවාහකයා ගැන පැවසෙනවා. ඒ වගේම රැකියාවේ තත්ත්වය, ධන තත්ත්වය, ව්‍යාපාරික කටයුතුවලදී කොටස්කරුවන් සමග පවත්වනු ලබන සබඳතා ද මේ 07වැන්නෙන් කියවෙනවා.

08වැන්නෙන් ආයුෂ ගැනත්, යමකුට අශුභ ඵලදීමේ ප්‍රධාන ස්ථානය හැටියට ද සැලකෙන බැවින් බාධක ස්ථානය යනුවෙන්ද සැලකෙනවා.

ඒ වගේම මාරක ස්ථානය, ආයුෂ ස්ථානය යනුවෙන්ද හඳුන්වනවා. අන්‍යයන්ගෙන් නිරායාසයෙන් හිමිවන දේපළ ආදිය ගැනත් , හිත පිළිබඳවත් මෙම ස්ථානයෙන් පරීක්ෂා කරන්නට හැකියාව තිබෙනවා. භාවස්ථාන 12 අතුරින් නරකම භාවය 08වෙනි භාවය ලෙස හඳුන්වනවා.

මේ ආකාරයට බලන කල කටක ලග්න හිමියාට කලත්‍රස්ථානාධිපති සහ ආයුෂ ස්ථානාධිපති ද වන මෙම සෙනසුරු ග්‍රහයා පුණ්‍යස්ථානගත වීමක් ලෙස පෙන්වන්න පුළුවන්.

මෙම සෙනසුරු ග්‍රහයා කටක ලග්න හිමි ඔබගේ 09වැන්නේ ගමන් කරන කාලයේදී ස්ථාන වෙනස්වීමක් හෝ ගෙදරින් පිටවීමක් හෝ කාර්යාලයේ හෝ නිවසේ හෝ නිවසේ නිදන කාමරයේ හෝ වෙනස්වීමක් සිදුවෙන එක ස්ථිරයි. ධනලාභ ලැබෙන නමුත් එය වහ වහා විනාස වෙයි. වියදම් අධික වේ. ශරීර සනීපය ද තරමක් දුර්වල වෙන බවක් පෙන්වයි. පපුවේ වේදනාකාරී තත්ත්වයන් පැන නැඟෙයි. තමා කරගෙන ගිය කටයුතුවල තරමක් බාධාකාරී තත්ත්වයක් පැන නැඟීමට ඉඩ ඇත.

දෙවියන් ගැන විශ්වාසය වැඩි වන කාලයක් වෙයි. දේව භක්තිය වැඩිවෙයි දෙවියන් ඇදහීමේ කටයුතුවලද යෙදෙනවා ඇත. මව්පිය, වැඩිහිටි, ගුරුවරුන් යන ආදීන්ට කරදර සිදුවීම නිසා සිතට දුකක් ඇතිවීමට ඉඩ ඇත. තමා පවත්වාගෙන ආ හොඳ නාමය නැති වී යෑමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුව ඇත.

ප්‍රයෝජනවත් නැති දෙයකට මුදල් වියදම් කිරීමටත් ඒ සඳහා වෙහෙස වී කටයුතු කිරීමටත් සිදුවිය හැකියි. නඩු හබ, වාද විවාදවලින් පරාජයට පත්විය හැකි බැවින් මේ කාලයේ ඒවායින් වැළකී සිටීම ද උත්සාහ ගතයුතුයි.

කටක ලග්න හිමි ඔබ මේ කාලයේ සෙනසුරුගේ මහ දශා, අතුරුදශා ගත කරයි නම් හෝ සෙනසුරුගේ ජන්ම අෂ්ට ම ඒරාෂ්ටක ගතකරයි නම් හෝ මේ කාලය පුරාවට ම ඔබ තවත් ප්‍රවේශම් විය යුතුව ඇත.

ඒ වගේම 06, 08, 12 යන දුෂ්ටස්ථාන අධිපති ග්‍රහයකුගේ මහා දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන කටක ලග්න හිමියෙක් නම් හෝ 22දෙර්කානාධිපති වන ග්‍රහයාගේ දශාවක් හෝ ගත කරයි නම් මේ කාලේ ඔබට වඩාත් අශුභකාරී තත්ත්වයක් ඇති කරනු ඇත.

කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට යොමු කරන ග්‍රහයෙක් බව පැහැදිලියි.

අපි පව් කරනකොට දඬුවමට පාත්‍ර කොට, ආගම ධර්මය කරා අපව ඇද බැඳ තබාගැනීමට මෙම සෙනසුරු උත්සාහ කරයි.

සෙනසුරුගෙන් සිදුවන යම් යම් අශුභකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට සෙනසුරාදා දින 07 හෝ 14ක් හෝ 21ක් හෝ බෝධිපූජා පැවැත්වීම වඩා යෝග්‍ය වේ.

ඒ වගේම ගිතෙල් මිශ්‍ර කිරිබතක් අලුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට දීම ද ඉතා මහඟු පුණ්‍ය කර්මයක් වෙයි.

විෂ්ණු, කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, බාර හාරවීම ,සෙත්කවි සාදවා කීම තුළින් ද මෙම අපලකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට ඉවහල් වේ.

ඉහත සඳහන් වත් පිළිවෙත් ඉටුකරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත්වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වෙනවා.

කටක ලග්න හිමි ඔබට තිබෙන සියලුම ග්‍රහ අපල දුරුවී නිදුක් නීරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩනැඟේවා !

ඊළඟ සතියේ සිංහ ලග්නය බලාපොරොත්තු වන්න…..

තෙරුවන් සරණයි!

සෙනසුරු මාරුවයි කටක ලග්නයයි

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978


advertistmentadvertistment