සර්ව පාක්‍ෂිකය අලවෙයි රනිල් ‘පාක්‍ෂික’ ආණ්ඩුවක් නිමවයි…..

397

අපේ රටේ බොහෝ දේශපාලන පක්ෂවලට පසුගිය සතිය අතිශයින් කාර්යබහුල දින කිහිපයක් විය. ඊට ලොකුම හේතුව වූයේ ලංකාවේ තිබෙන ප්‍රධානතම පක්ෂ කීපයක සම්මේලන, සංවත්සර, ආරම්භක උත්සව හා විවිධ ජාතික පරිමාණයේ රැස්වීම් මෙම සතිය තුළ සංවිධානය වී තිබූ නිසාය.

ඒ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අභිමානවත් 71 වන සංවත්සරය සමරනු ලැබුවේ පසුගිය 02 වන සිකුරාදා සවස 2.00ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාවේ පැවැති උත්සවයකදී ය.

සංවත්සර උත්සවය පැවැත්වීමට පෙර විවිධ ගැටලු මතුව තිබිණි. පක්ෂයේ පොදු මතයට පටහැනිව නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය සමඟ එක්වී ඇමැති ධුර ලබාගැනීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ලොකු ගැටුමක් නිර්මාණය වී තිබිණි. මෙම ගැටුමට අමතරව පක්ෂයට තිබූ තවත් ප්‍රශ්නයක් වූයේ තවත් කණ්ඩායමක් පක්ෂයේ පොදු මතයට පටහැනිව ආණ්ඩුව සමඟ එක්වීමට දරනු ලබන ප්‍රයත්නයයි. මේ පිළිබඳ ඇතුළාන්තයේ ලොකු අර්බුදයක් නිර්මාණය වී තිබුණ අතර සංවත්සර උත්සවය අවස්ථාවේදී ද කොයි මොහොතක හෝ ගැටුමක් ඇති වෙතැයි කියා බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියහ.

එහෙත් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය වූයේ පක්ෂ විනයට පටහැනි ව රජය සමග එක්වී ඇමැති ධුර ලබා ගැනීමට කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමටය. ඒ සඳහා සංවත්සරයේදී වෙනම වැඩපිළිවෙළක් දියත් කරන්නට ද සැලැස්මක් තිබිණි.

සංවත්සර උත්සවය සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැමිණියේ තරමක් ප්‍රමාද වී දෙකයි තිහට පමණ ය. නිමල් සිරිපාල, දයාසිරි, ශාන් විජයලාල්, අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් ඇතුළු පිරිස පෙරමුණට ගොස් නායකයා පිළිගනු ලැබූහ.

කෙසේ වෙතත් සංවත්සර උත්සවයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීමක් පවත්වන්නට පක්ෂ නායකත්වය තීරණය කර තිබිණි.

මෙහිදී පළමුවෙන්ම පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර පැමිණ පක්ෂයේ ව්‍යවස්ථාවේ අඩුපාඩු ගණනාවක් පෙන්වා දෙමින් ඒවා සංශෝධනය විය යුතු බව යෝජනා කර ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කළේය. පක්ෂ විනය කඩ කරන්නන්ට පක්ෂයේ මතයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව ගතයුතු දැඩි ක්‍රියාමාර්ග ගැන ද යෝජනා කිහිපයක් විය. පක්ෂ නායකයාගේ සැලැස්ම වූයේ සමස්ත ලංකා කාරක සභාව තුළින් මෙම නව යෝජනා සම්මත කරවා ගැනීමයි.

● පක්ෂ මාරුව බැරිවෙන්න මෛත්‍රිගෙන් කඩුල්ලක්…
 

දයාසිරිට පසු නායකයා නැගිට වේදිකාවට ගොස් කථාවක් කළේය. එම කතාව අතරතුර ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද සංශෝධන ගැන පවසා එම සංශෝධනවලට කැමති අය අත ඔසවන ලෙස නායකයා ඉල්ලීමක් කළේය. පළමුව තම අත ඔසවා තම කැමැත්ත පළ කරමින් සභාවේ කැමැත්ත ඉල්ලා සිටි නායකයාට ඒ සඳහා සියල්ලන්ගෙන්ම සහයෝගය ලැබුණි. අත ඔසවා නොතිබුණේ නිමල් සිරිපාල, මහින්ද අමරවීර යන ඇමැතිවරු දෙදෙනාට අමතරව දැනටමත් ආණ්ඩුවට යෑමට හා එහි තනතුරු භාර ගැනීමට කැමැත්ත පළ කර සිටින මන්ත්‍රීවරුන් කීපදෙනකු පමණි.

කෙසේ වෙතත් එම සංශෝධන විරෝධයක් නොමැතිවම සභා සම්මත විය. සංවත්සරයේ වැඩ කටයුතු ආරම්භ වූයේ එම කටයුත්තට පසුවයි. ඒ අතරතුර චාමර සම්පත් දසනායක හා ජගත් පුෂ්පකුමාර නැඟිට නායකයා අසලට පැමිණ මේ අයුරින් බලහත්කාරයෙන් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීම ගැන නායකයාට ද දොස් පවරන්නට වූහ.

මේ අතර ආණ්ඩුව සමඟ යම් එකඟතාවයක් ඇති කරගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට මේ වෙලාවේ ලොකු යුතුකමක් ඉටු කරන්නට ද සිදුව තිබිණි.

ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ අන්තර්කාලීන අතුරු අයවැය විවාදයට ලක් වෙමින් තිබිණි. එහි අවසන් ඡන්ද විමසීම තිබුණේ එදින හවස ය. එහිදී අයවැය පරාජය වුවහොත් එම ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට මේ මොහොතේ උදව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවර සඳහා ඉතා සංවේදීව බලපාන බව බොහෝ දෙනා දැන සිටියහ. අයවැයට සරල බහුතරයක් නොමැති වුවහොත් එමගින් ජාත්‍යන්තරයට නරක පණිවුඩයක් යන බැවින් එක්තරා පිරිසකගේ අභිප්‍රාය වූයේ මේ මොහොතේ අයවැය පරාජය කිරීමයි. මේ අභියෝගය දන්නා නිසා 113ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා අයවැය ජයග්‍රහණය කරවීමට ආණ්ඩුවේ පිරිසක් වෙනම ක්‍රියාන්විතයක නිරතවී සිටියහ. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා එදින උදේ පටන් එම මෙහෙයුමෙහි යෙදී සිටින බව දැක ගත හැකි විය.

එදින දහවල් ජනාධිපති රනිල් නොගොස්ම බැරි එක්තරා මඟුල් ගෙදරකට ගියේය. මඟුල් ගෙදර තිබුණේ පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි එක්තරා ප්‍රසිද්ධ උත්සව ශාලාවකය. විවාහ වූයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ දියණියයි. මන්ත්‍රීවරයා මේ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. ප්‍රේමලාල් ජයසේකර ඉතා හොඳින් මිතුරන් නඩත්තු කරන මන්ත්‍රීවරයකු බැවින් මන්ත්‍රීවරු ද විශාල ප්‍රමාණයක් මෙතනට සහභාගි වී කමින් බොමින් විනෝද වෙමින් සිටියහ.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එතන වැඩි වෙලා කල්ගත කරන්නට ඉස්පාසුවක් නොවීය. විනෝදයට බර පුද්ගලයකු බැවින් ඔහු ද වගකිය යුතු වේලාවක් එහි රැඳී සිටියේ සහෝදර දේශපාලනඥයන්ට විහිළු තහළු කරමින් මඳක් සැහැල්ලුවෙන් යුතුවය. ඒ අතර වාරයේ ප්‍රේමලාල් ජයසේකර යුවල අසලට ගිය ජනාධිපතිවරයා… “වැඩේ ඉතාම ලස්සනයි. මමත් හොඳටම සතුටු වුණා. දරුවාගේ ඉතුරු වැඩ ටිකත් හොඳට කරන්න. ඊට පස්සේ කල්වේලා ඇතිව ඡන්දෙ දාන්න පාර්ලිමේන්තුවට එන්න අමතක කරන්න එපා” සිනාමුසු මුහුණින් එසේ කියා යුවලට ද සුභ පැතූ ජනපති රනිල් නික්ම ගියේය.

● ශ්‍රී ලංකා හතෙන්  අයවැය ගොඩයයි…
 

මේ අතර ශ්‍රී ල නි ප සංවත්සර උත්සවයේ සිටි නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු කීප දෙනෙක්ගේ දුරකථනවලට දිගින් දිගටම ඇමතුම් ගලා එන්න පටන් ගත්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණෙන හත් දෙනා මග ඇරුණොත් තත්ත්වය නරක අතට යා හැකි බවට ඉඟියක්ද පැතිරෙමින් තිබිණි.

සංවත්සරය ඇතුළාන්තයේ තිබූ උණුසුම් තත්ත්වය හා නොහොඳ නෝක්කාඩුව අතරතුරම නිමල් සිරිපාල, අමරවීර, ලසන්ත, සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් ආදී මන්ත්‍රීවරු හත්දෙනෙක් නැගිට පිටව ගියහ.

ජනාධිපති තෝරන වෙලාවේදී රනිල්ට පක්ෂව ඡන්ද 134ක් ලැබුණද අයවැයට ඡන්ද විමසීම වන විට ලැබී තිබුණේ ඡන්ද 120ක් පමණි. බැරිවෙලාවත් සංවත්සරය නිසා ශ්‍රී ලංකා මන්ත්‍රීවරු 7දෙනා නොපැමිණියේ නම් ලැබෙන්නේ 113කි. එමගින් ජාත්‍යන්තරට යන පණිවිඩය ඉතා නරක එකක් වන්නට ඉඩ තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පක්ෂයේ 71 වන සංවත්සරය පවත්වන විට එක්සත් ජාතික පක්ෂය සූදානම් වූයේ සිය 76 වන සංවත්සරය සැමරීමට ය. රනිල් ඒ සඳහා ලොකු පරිශ්‍රමයක් යොදමින් කටයුත්ත සංවිධානය කළ අතර ඔහු සියලු වගකීම් දෙවන පෙළ නායකයන් අතර බෙදා හදා දුන්නේ ය. 6 වැනිදා පවත්වන මෙම සමුළුව ගැන කතා කරන්නට පසුගිය 4 වන ඉරිදා ජනාධිපති නිල නිවසේ ලොකු සාකච්ඡාවක් පැවැත්විණි. පක්ෂයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණි. ඒත් පක්ෂයේ නිලධාරියෙක් නොවන තවත් පුද්ගලයෙක් ද ඊට සහභාගී වී සිටියේය. ඒ හරීන් ප්‍රනාන්දු ය. කොටින්ම ඔහුට පක්ෂයේ සාමාජිකත්වයවත් ඒ වනවිට තිබුණේ නැත.

“මෙයා මෙහෙම ඉඳලා බෑ. ඔක්කෝටම කලින් පක්ෂ සාමාජිකත්වය අරගෙන ඊට පස්සේ තනතුරක් අරගෙන වැඩ කරන්න.” හිතවතුන් ඔහුට කියන්නට වූහ.

“මේ පාර අපි සංවත්සරය තියන්නේ ඉලක්ක තුනක් මුල්කරගෙන. එක තමයි 22වෙනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පරිදි ඉදිරිපත් කිරීම. දෙක වෙන්නේ වැටුණු ආර්ථිකය ගොඩගැනීම. තුන්වැනි දීර්ඝකාලීන ඉලක්කය වෙන්නේ අවුරුදු 25 ක් තුළ සංවර්ධන රටක් නිර්මාණය කිරීම. මෙන්න මේ කාරණා තුන ජනාධිපතිතුමාගේ සංවත්සරය දවසේ කතාවටත් ඇතුළත් කරන්න ඕන.

සංවත්සරයේ සංවිධාන කටයුතුවල වැඩි වගකීම පාලිත රංගේ බණ්ඩාරට හා හරීන් ප්‍රනාන්දුට පැවරුණි. අධීක්ෂණ කටයුතු රුවන් විජේවර්ධනට හා සාගල රත්නායකට පැවරිණි. සැප්තැම්බර් 06 වැනි අඟහරුවාදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් ව මෙම සංවත්සරය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් සකස් කළේ එසේය.

මේ අතරතුර ඉරිදා හවස විමල් වීරවංශලාගේ ස්වාධීන පක්ෂ එකමුතුවේ මංගල මහා සමුළුව ද මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ පැවැත්වෙමින් තිබිණි. ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ මෙම එකමුතුව නම් කර තිබුණේ උත්තර ලංකා සභාගය කියාය.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස විමල් වීරවංශත් ලේකම්වරයා ලෙස කොමියුනිස්ට් පක්ෂයෙ ජී. වීරසිංහ මහතාත් පත්විය. ජාතික සංවිධායක ලෙස වාසුදේව නානායක්කාරත් නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස උදය ගම්මන්පිලත් මහාචාර්ය තිස්ස විතාරණත් පත්වූ අතර ගෙවිඳු කුමාරතුංග එහි නියෝජ්‍ය ලේකම්වරයා ලෙස පත් විය. අතුරලියේ රතන හිමි එහි අනුශාසක තනතුරේ තබනු ලැබූහ. මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල ඇතුළු පිටස්තර දේශපාලනඥයින් කිහිප දෙනෙක්ම පැමිණ සිටීම ද විශේෂත්වයක් විය. එසේම චීනය, කියුබාව, ජපානය හා ඉන්දියාව ඇතුළු රටවල් කීපයක තානාපතිවරුන් ද මහකොමසාරිස්වරුන් ද මේ සඳහා පැමිණ සිටීයහ. මෙම අවස්ථාව අමතා කලකට පසු විමල් වීරවංශ කරන ලද දේශනය කොයි කා අතරත් මහත් ප්‍රසාදයට ලක් වූ කතාවක් විය.

● වෙල්ගමගේ පක්ෂයට  දයාසිරිගෙන් කොක්කක්…

පසුගිය දිනවල අපේ රටේ ආන්දෝලනාත්මක දේශපාලනයක නිරත ව සිටි කැපීපෙනෙන දේශපාලනඥයෙකු වූ කුමාර වෙල්ගම සිය අලුත් දේශපාලන පක්ෂය ජනගත කරනු ලැබුවේ ද පසුගිය සතියේ ය. නව ලංකා නිදහස් පක්ෂය නමින් එම පක්ෂය පසුගිය පස්වන සෙනසුරාදා විවෘත වූයේ බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදී ය.

පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජීවන් කුමාරතුංග ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් මෙම පක්ෂයේ නම සම්බන්ධයෙන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු ගැටලුවක් මතුව තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මේ කාරණාව ගැන විරෝධය දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නව ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමව යන නාමයක් යොදාගනිමින් තම පක්ෂයට බලවත් අගතියක් නිර්මාණය කර ඇති බව පෙන්වා දෙමිනි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ වාද විවාද ගණනාවක් ම පැවැත්විණි. මෙරට දරුවන්ගේ හා ගැබිනි මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදය පසුගිය සතියේදී පැවැත්විණ.

මේ සඳහා වන පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය ඉදිරිපත් කර තිබුණේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි. විවාදයට පෙර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට කැඳවා තිබුණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ සාකච්ඡාවට සහභාගී වූයේ නැත.

● මන්දපෝෂණ කතා ගැන ජනපතිගේ කනස්සල්ල…
 

 “මන්දපෝෂණ තත්ත්වය අතින් ලංකාව ලෝකයේ හයවැනි ස්ථානයේ ඉන්නව කියල විපක්ෂය කියනවා. ඒක ඇත්තද?” ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

 “ඒ සංඛ්‍යාලේඛන වැරදියි.”

 නිලධාරීහු පැවසූහ.

 “ඒක වැරදියි නම් මීඩියාවලට ගියේ කොහොමද?”

 ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

 “අපි ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියල මේ ගැන කිව්වා. ඒත් මීඩියාවල ඒක ලොකුවට ගියේ නෑ.”

 “මීඩියාවල ගියේ නැත්නම් අපිට කියන්න ඕන. අපි මේ ගැන පාර්ලිමේන්තුවෙදි හරි කියනවානේ. ඇයි අපි දැනුවත් කළේ නැත්තෙ. අඩුම තරමේ මේ ගැන සෞඛ්‍ය ඇමැතිතුමා දැනුවත් කළාද? අමාත්‍ය මහින්ද අමරවීර තරමක කේන්තියෙන් ප්‍රශ්න කළේය.

 “ඒකනේ මේ සංඛ්‍යාලේඛන වැරදියි නම් අමාත්‍යාංශය ඒක නිවැරදි කළේ නැත්තේ ඇයි.”

 හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද ප්‍රශ්න කළේය.

 පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ කතාවට හවුල් විය.

 “අපි මේ ගැන ඇමැතිතුමා දැනුවත් කළා.”

 සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පැවසීය.

 “අපි මේ ගැන විවාදයේදී කරුණු දක්වමු” ජනාධිපතිවරයා කීවේය.

 අනතුරුව ජනාධිපතිවරයා වත්මන් ආර්ථික අර්බුදය ගැන කතා කළේය.

“අපිට අනිවාර්යයෙන්ම ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. යුක්රේනය තමයි ලෝකයේ සියයට තිහක් තිරිඟු පිටි හදන්නේ. නමුත් යුද්ධය නිසා ඒ නිෂ්පාදනය ලෝකෙට එන්නේ නෑ. පහුගිය කාලේ ඉන්දියාවෙන් තිරිඟු පිටි ගත්තා. දැන් ඉන්දියාව තිරිඟු පිටි දෙන්නේ නෑ. ඒ නිසා දෙසැම්බර් වෙද්දි ලෝකයේ තිරිඟු පිටි හිඟ වෙනවා. පාන් මිල තවත් ඉහළ යාවි. මේ අර්බුදයට මුහුණ දෙන්න අපි විකල්ප හොයන්න ඕන. එකම විකල්පය තමයි වගා කරන එක. අපි මහ කන්නයේ වගා කටයුතු පටන් ගත්තේ ඒකයි. ඒකට පොහොර ලබාදෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධ කරගෙන ගමේ නිලධාරීන් පස්දෙනෙක් පත්කරනවා ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වග කියන්න. ඒකට මන්ත්‍රීවරුන් සම්බන්ධ වෙන්න ඕන.”

“ප්‍රාදේශීය ලේකම්වරු එක්ක කතා කළාට වැඩක් නෑ. අපි කියන දේවල් පිළිගන්නේ නෑ.” සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා කීය.

“අපිට වයඹ ආණ්ඩුකාරයා එක්කත් වැඩ කරන්න බැහැ. එයා නාවික හමුදාව පාලනය කළා වගේ මහජන නියෝජිතයන් පාලනය කරනවා. එයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න” සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.

“මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයාගේ බලතල පවරන්න පුළුවන්ද කියල බලන්න ඕන” ජනාධිපතිවරයා පැවසීය.

“පළාත් සභා ක්‍රියාත්මක නොවුණට ඒකේ සභාපතිවරයාට බලතල තියෙනවා.” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

“බුදු අම්මෝ ඒක කරන්න එපා.” මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එකවර පැවසීය.

ඒකට ජනාධිපතිවරයාටත් හිනාය.

“නිවාස ගිනි ගැනීම සම්බන්ධයෙන් හානිපූර්ණ වන්දි ලබාගන්න මන්ත්‍රීවරු තිස් දෙනයි අයදුම්පත් පුරවල තියෙන්නේ. අනිත් අයත් ඉක්මනට පුරවල දෙන්න” ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කතාව වෙනත් පැත්තකට හරවමින් කීය.
“ප්‍රාදේශීය ලේකම්වරයත් ෆෝම් එකක් එවල තියෙනවා. එයාල කියන්නේ ඒ ෆෝම් එක පුරවන්න කියලයි.” සමන්ප්‍රිය හේරත් නැවත කීවේය.

“නෑ… ප්‍රාදේශීය ලේකම්තුමාට දෙන්න ඕන දිවුරුම් ප්‍රකාශයක්. අපි ගිය සතියේ විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා එක්ක සාකච්ඡාවක් තිව්වා. මේ වැඩ වෙන්නෙ කොහොමද කියල ඒකෙදි මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළා. ආපු නැති මන්ත්‍රීවරු ආපු මන්ත්‍රීවරුන් එක්ක කතා කරන්න” ඇමැති ප්‍රසන්න යළි පැවසීය.

“අපි එහෙම එකක් ගැන දන්නේ නෑ” මන්ත්‍රීවරු කීප දෙනෙක්ම කීය.

“පාන් මිල වැඩිවෙච්ච නිසා අපිට ගම්වලට යන්න බැහැ. පාන් මිල අඩුකරන එක ගැන වෙළෙඳ ඇමැතිතුමා මොකද කියන්නේ” මන්ත්‍රීවරුන් විමසූහ. එහෙත් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඒ වනවිට එහි සිටියේ නැත. වෙළෙඳ ඇමැති වෙනුවට උත්තර දුන්නේ නිමල් ලාංසාය.

 “බේකරි හිමියෝ එක්ක එතුමා කතා කළා. පිටි හිඟයක් තිබුණත් පාන් ගෙඩියක මිල රුපියල් 300 වෙන්නෙ නෑ කියල බේකරි හිමියෝ කියල තිබුණා. ප්‍රීමා එකටයි සෙරන්ඩිබ් එකටයි කියල තියෙන්නෙ පිටි තොග වෙළඳපළට දාන්න කියල. ජනාධිපතිතුමත් පිටි මිල අඩු කරන්න දැනටමත් පියවර අරගෙන තියෙන්නේ.”

 “බේකරි හිමියන්ගේ සභාපතිම තමයි පාන් ගෙඩියක් 300ක් වෙයි කිව්වේ.” ඒ ජානක වක්කුඹුරය.

 “එයා ඒ කතාව නිවැරදි කරනවා” ලංසා නැවත කීවේය.

● මන්ත්‍රී තිස්සකුට්ටි ජනපතිගෙන් තෙල් ඉල්ලයි
 

අනතුරුව නැඟී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ය. ඔහු පැවති ආණ්ඩුවට චෝදනා කළේය.

“අපි ප්‍රශ්නයක් කිව්වම හිටපු ජනාධිපතිතුමා අපිව ගණං ගත්තේ නෑ. ඒකෙන් වුණේ මන්ත්‍රීවරු, ඇමැතිවරු කලකිරිලා ආණ්ඩුව කඩාගෙන ගියා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් ගෙදර යන්න වුණා.”

අනතුරුව ඔහු නැවත මෙසේ කීවේය.

“අද අපේ ජනාධිපති ඔබයි. අපි ඔබගේ වැඩපිළිවෙළ අගයනවා. අපේ ජීවිත බේරලා අභයදානය දීපු එකට අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. දැන් ආපහු තැන් තැන්වල කුටු කුටු ගානවා. කැබිනට් ඇමැතිවරුන්ගෙන් ඇහුවම මොකද වෙන්නෙ කියල අනේ වැඩක් නෑ බං කියනවා. මොකද්ද වෙන්නෙ කියල අපිට තේරෙන්නේ නෑ. ඔය ඇමැතිකම් දීල වැඩේ ඉවර කරගෙන සාමුහිකත්වය ආරක්ෂා කරගමු. දැනටමත් අනවශ්‍ය ප්‍රචාර අපේ කණ්ඩායමේ පැතිරෙනවා. මෙහෙම ගියොත් මේකත් හෝදගෙන යාවි.”

“අද මට එන්න වාහනයක් තිබුණේ නෑ. හිතවතෙක්ගේ වාහනයක ආවේ. ඇමැතිකම් දෙන අයට ඒව දීල. අපිටත් එහෙට මෙහෙට යන්න තෙල් ටිකක් දෙන්න” ඇඟට පතට නොදැනී තිස්ස කුට්ටිආරච්චි කී ඒ කතාව අත්පොළසන් දෙමින් සියල්ලෝම අනුමත කළහ.

 “ඒ වගේම ජනාධිපතිතුමනි, සමහර ඇමැතිවරු කියනවලු සමහරුන්ට ඇමැතිකම් දෙන්න එපා කියලා. එහෙම කියපු අය ඉන්නව නම් එහෙම කිව්වෙ ඇයි කියන්න. නැත්නම් නෑ කියන්න. ඒ කතාව ඇහිච්ච අයත් ඒක කියන්න.” තිස්ස කුට්ටිආරච්චි නැවත කීවේය.

එයට උත්තර දුන්නේ නිමල් ලාංසාය.

“හෙට අනිද්දට ඇමැතිකම් ලැබෙන ඇමැතිවරු මේ මන්ත්‍රිවරු ගැනත් බලන්න. රාජ්‍ය ඇමැතිකම් ලැබෙන අය අඩුම තරමේ මන්ත්‍රීවරු දෙන්නෙක්වත් බලාගන්න. එතකොට මෙහෙම ප්‍රශ්න එන්නේ නෑ. ”

කැබිනට් ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු පත් කිරීම් ප්‍රමාද වීම ගැන බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න තිබිණි. තිස්ස කුට්ටිආරච්චි මතු කළේ ද එබඳු ප්‍රශ්නයකි. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය ඉක්මනින් පත්කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විය. ඔහු ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් කළේය.

සාකච්ඡාව පැවැතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද ජනාධිපතිවරයා හා සාකච්ඡා කළේය.

● ඩයනාගේ සිනා අස්සේ කංචනත් බැහැ කියලා…

ඒ සියල්ල සමගින් ජනාධිපති රනිල් ජනාධිපති කාර්යාලයේදි අගමැති දිනේෂ්, ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග මුණ ගැසිනි. එම සාකච්ඡාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියහ.

රාජ්‍ය ඇමැති ධුර 37 සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමෙන් පසු පිරිස පිටව යන්නට සූදානම් වෙද්දී සාගල අත තිබූ ඇමැති ධුර ලැයිස්තුව ඔහු ජනාධිපති ලේකම් වෙත දුන්නේ “මේක මගේ අතේ තියාගන්න හොඳ එකක් නොවේ” යැයි කියමිනි. සෙස්සෝ ද හඬගා සිනහසෙමින් සිය අතැති නාමලේඛන ද ජනාධිපති ලේකම් අත තැබූවේ “ඔව් ඔව් මාධ්‍යවල මේක කලින් ගියොත් අපිත් අහුවෙනවා” යි කියමිනි. ඒ අනුව දිවුරුම් දීම සිදු විය.

රාජ්‍ය ඇමැති ධුරවල දිවුරුම් දෙද්දී ජනාධිපති රනිල් ඩයනා ගමගේට විහිළුවක් කළේය. එම විහිළුව නිසා ඇයට ගිය හිනාව කොතරම් ද යත් දිවුරුම් ප්‍රකාශයවත් හරියට කියාගන්නට බැරි විය.

“ෂුවර් එකටම ජනාධිපතිතුමා කංසා ගැන මතක් කරන්න ඇති…. ඒකයි ඩයනාට හිනා  ගියේ.” ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු කීයේය.

“ඔයාට ඔච්චර කිති කැවෙන්න මොනාද ජනාධිපතිතුමා කිව්වේ… මනමාල කතාවක් කිව්වද” කටකාර මන්ත්‍රීවරයෙක් ඩයනාගෙන් ඇසීය

“සර් කිව්වා…. ඔන්න මං ඔයා ඉල්ලපු දේ කරන්න පුළුවන් අමාත්‍යාංශයක්ම දුන්නා කියලා…. ජනාධිපතිතුමා විහිළුවක් කළා අනේ” ඕ කීවාය.

ඒ අතර තවත් නඩුවක් රැගෙන ආවේ ඩී. වී. චානක ඇමැතිවරයා ය. ඔහුට ලැබී තිබුණේ වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැතිකමයි…. එම අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍ය ධුරය මහින්ද අමරවීර විසින් දරනු ලැබීම් ඔහුට මහත් ගැටලුවක් වී තිබිණි. මන්ද ඒ දෙදෙනාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරගකාරී සටනක නිරතව සිට යම් යම් අමනාප නොහොඳ නෝක්කාඩුවලට මුහුණ දී තිබීමයි. ඔහු පත්වීමේ දිවුරුම් දී තිබුණේ ඇමැතිකම කුමක්ද කියා හාංකවිසියක් වත් දන්නෙ නැතිවයි…

“අනේ සර්… මට මේ රාජ්‍ය ඇමැතිකම එපා.”

“ඇයි මොකක්ද හේතුව මේක මදිද…”. ජනාධිපති ඇසීය.

“අනේ නෑ… මේ අමාත්‍යාංශයේ කැබිනට් ඇමැති මහින්ද අමරවීර. මට එතුමාගේ එකේ නැතුව වෙන ඕනම කෙනෙක්ගේ අමාත්‍යාංශයක රාජ්‍ය ඇමැතිකමක් දෙන්න…” චානක ඒ ඉල්ලීම් කළ ආකාරයටම රනිල්ට හිනා ගියේය.

“දැන් මුකුත් කරන්න බැහැනේ…. කැමතිනම් කාත් එක්ක හරි මාරු කරගන්නවා……”

“ඔයා එන්න මගේ අමාත්‍යාංශයට…” කංචන විජේසේකර කීවේය.

“එතන ඉතින් ඉන්දික අනුරුද්ධ ඉන්නවා නේ….”

“එයත් එක්ක මම කතා බහ කරලා පිළිවෙළක් කරගන්නම් සර්….” කංචන වගකීම් භාර ගත්තේය.

“ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව ඕන එකක් කර ගන්නවා” ජනාධිපති කීවේය. ඉන්පසුව සති අන්තයේ කතරගම බලා පිටත්ව ගියේ මීට සති කිහිපයකට පෙර යොදා ගෙන තිබූ සංචාරයක් ද අවලංගු වූ තිබූ බැවිනි.

● පොඩි පක්ෂ ගැන ඩයනාගේ තක්සේරුව
 

පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන පරිදි ජාතික සභාවක් පිහිටුවීමට පසුගිය සතියේදී තීරණය විය. ඒ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතාබහට ලක්විය. එහෙත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතාගේ යුතුකම සංවාද කවය පක්ෂය ඇතුළත්ව නැත. ඔහු ඒ ගැන පක්ෂ නායක රැස්වීමේදී විමසීය.

“ඒක ප්‍රශ්නයක් කරගන්න එපා?” පක්ෂ නායකයෝ පැවසූහ.

“නමුත් ඒක අපිට ප්‍රශ්නයක්. අපේ පක්ෂයේ සාමාජික මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව ඇතුලේ වෙනම පක්ෂයක් විදියට හිටියම අපිට විනය ක්‍රියාමාර්ගයක්වත් ගන්න බැරිවේවි” පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් කීය.

එයට පිළිතුරු දීමේදී ගෙවිඳු කුමාරතුංග තරමක් හැඟුම්බර විය. ඒ කතාබහ එතනින් නතර විය. තවත් කාරණා කිහිපයක් කථා බහ කරගත් පක්ෂ නායකයෝ යළිත් එළියට එන අතරතුර මහින්ද අමරවීර අලුත් යෝජනාවක් ගෙන ආවේය.

 “අපි ශ්‍රී ලංකා නිදහස් ඒකාධිපති පක්ෂයෙන් අයින්වෙලා ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදනවා.”

 “ආ එහෙම එකක් තමයි දැන් අපිට අඩු වෙලා තියෙන්නේ” තවත් අයෙක් කීවේය.

 “පක්ෂවල නම් හදාගත්ත වගේ නෙවෙයි… අන්තිමේ අඬන්න තමයි වෙන්නේ…” මහින්ද අමරවීරට උත්තරයකි.

 “ඒක නෙවෙයි සර්… මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්…” ඒ කීවේ ඩයනා ගමගේ ය.

 “සර්… ඔහොම අඬන්න නම් පක්ෂ මොකටද? මගේ පක්ෂය ස.ජ.බය උදුර ගත්තා. හරි නම් මමනේ අඬන්න ඕන.”

 ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඇමැති නිමල් සිරිපාලට කීවේය.

 “ඔය පොඩි පක්ෂවලට එළියට බැහැල ඡන්දයක් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලුවොත් වෙනදේ බලාගන්නකො. කිසි කෙනෙක්ට පාර්ලිමේන්තු එන්න බැහැ” ඇය නැවත කීවේය.

 “ඒක ඇත්ත” ඇමැති නිමල් සිරිපාල ද එය අනුමත කළේය.

දිනේෂ් සභානායක ලෙස  ලක්ෂ 15ක් ඉතුරු කරලා
 

පසුගිය පාර්ලිමේන්තු සතියේ ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අඛණ්ඩව පාර්ලිමේන්තුවට පැමිණියේය.

පක්ෂ නායක රැස්වීමෙන් පසු අගමැති දිනේෂ්, සභානායක සුසිල්ව පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලය වෙත කැඳවාගෙන ගියේය. “තෑග්ගක් දෙන්න තියෙනවා.”

සුසිල්, කුතුහලයෙන් බලා සිටියදී දිනේෂ් සිය ලේකම්වරයෙකුට කීවේ… “අර ඉතිරි කරපු මුදල් භාරදෙන්න” කියාය. ඒ, අගමැතිවරයා සභානායක ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා, ඉතිරි කළ නිල රථයට හිමි ඉන්ධන දීමනාව ය. එහි වටිනාකම රුපියල් පහළොස් ලක්ෂ හැටඅට දහසකි (රු.1,568,000). එය නව සභානායක සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා අතට පත් කළේ, අගමැති දිනේෂ්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ය.

●  බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment