සහල් වැඩි මිලට වික්කොත් සඟවා  තබා ගත්තොත්  වැඩ වරදී

150

ඇතැම් මෝල් හිමියන් සහල් තොග සඟවාගෙන රට තුළ සහල් හිඟයක් මවාපා රජය ලවා සහල් මිල වැඩි කරවාගෙන අලෙවි කිරීමේ උත්සහයක නිරත වන බවට තොරතුරු ඇතැයි පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (12 වැනිදා) පැවැසීය.

 මේ නිසා එවැනි මෝල් හිමියන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයිද හෙතෙම කීය.

 ගැසට් මගින් සහල් සඳහා පාලන මිලක් පනවා තිබෙන මෙහොතක ඉතා අධික මිලට සහල් අලෙවි කරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ 1977 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

 වැඩි මිලට සහල් අලෙවි කරන්නේ නම් සති දෙක තුනක් පාරිභෝගික ජනතාව සහල් මිලදී ගැනීම ප්‍රතික්‍ෂේප කළහොත් වෙළෙඳුන්ගේ හා මොල් හිමියන්ගේ ක්‍රියාවලිය ඉබේම නතරවනු ඇති බවත් හෙතෙම කීය.

 සමහර මෝල් හිමියන් හා වෙළෙඳුන් සහල් තොග සඟවා වෙළෙඳපොළේ බොරු සහල් හිඟයක් මවා පාමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත්කරන බව දැනගන්නට ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

 ඒ අනුව සහල් තොග සඟවාගෙන සිටින වෙළෙඳුන් ගැන තොරතුරු ඇත්නම් 0771-088895 (බස්නාහිර පළාත හා ඌව පළාත), 0771-088903 (දකුණු පළාත සහ සබරගමු පළාත), 0771-088914 (උතුරු පළාත සහ වයඹ පළාත), 0771-088902 (මධ්‍යම පළාත), 0771-088904 (නැගෙනහිර පළාත) යන දුරකථන අංකවලට තොරතුරු ලබාදිය හැකි බවද ඒ මහතා කීය.

 කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 210 ක්ද, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220 ක්ද, සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 230 ක්ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260 ක් යනාදී වශයෙන් පාලන මිලක් නියම කර තිබේ.

 දැනටමත් වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 60 දෙනකුට අධික පිරිසකට එරෙහිව නඩු පවරා ඇත.

 මේ අතර සහල් නොමැති බව කියමින් කීරි සම්බා 10 බැගින් සහල් කිලෝ 990 ක් සඟවාගෙන සිටි මොනරාගල ප්‍රකට ව්‍යාපාරිකයකු ඊයේ (12දා) මොනරාගල පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මොනරාගල නගරයේ සිටින මෙම සහල් හිමිකරු තොග වෙළෙන්දකු වන අතර ඔහු සමඟ අත්අඩංගුවට ගත් සහල් තොගය මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් කිරීම නිසා මෙම සහල් තොගය ගබඩාවේ තබාගෙන පසුව අලෙවි කිරීමට, සහල් නැතැයි උපාය දූතයාට පැවසීමෙන් පසු වැටලීම සිදුකර සහල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

 මොනරාගල පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරී ආර්. එම්. එන්. ගුණරත්න, ඒ. එල්. එම්. බාසික්, ඒ. එච්. එන්. මුසීම් යන නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment