පිළිකා රෝහලේ යන්ත්‍රය දින 8ක් තිස්සේ කැඩිලා – ළමුන් 24 දෙනකුත් අවදානමේ

178

රෝගීන් සියයකගේ පමණ ප්‍රතිකාර අඩපණ වෙලා
ඉරාන් ‘පාර්ලිමේන්තුවට කියයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පවතින බැවින් එම රෝගීන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇතැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) කියා සිටියේය.

පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන එම වේරියන්ට් යන්ත්‍රය වෙනුවෙන් අවශ්‍ය අමතර කොටස් නොමිලේ ලැබී ඇතත් ඒවා පසුගිය සිකුරාදා සිට රේගුවෙන් නිදහස් කර ගැනීමට ද නොහැකි වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

එහිදී ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ රෝගීන් සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන වේරියන්ට් යන්ත්‍රය කැඩිලා අදට දින අටක් වෙනවා. මේ යන්ත්‍රයට නොමිලේ ලැබුණු අමතර කොටස් පසුගිය සිකුරාදා සිට මේ දක්වා රේගුවෙන් නිදහස් කර ගන්න බැරි වෙලා තිබෙනවා.

මේ යන්ත්‍රය අක්‍රිය වීම නිසා රෝගීන් සියයකගේ පමණ ප්‍රතිකාර අඩපණ වෙලා තිබෙනවා. අද උදේ වන විටත් මේ යන්ත්‍රයෙන් ප්‍රතිකාර ගන්න සිටින ළමුන් 24 දෙනෙකු පමණ අන්ත අසරණ වෙලා තිබෙනවා. ඒ නිසා මේක හදිසි කටයුත්තක් ලෙස සලකා ඊට මැදිහත් වෙලා අද දිනම ඒ යන්ත්‍රයේ අමතර කොටස් නිදහස් කරලා දීලා යන්ත්‍රය සකස් කරලා මේ රෝගීන්ගේ ජීවිත බේරා දෙන්න කියලා ඉල්ලනවා. මේ ඉල්ලීම කරන්නේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන්. ඒ නිසා මේ ගැන බලන්න කියලා මම ඉල්ලනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment