නිපෝන් පේන්ට් රග්බි ලීග් තරගාවලිය සිකුරාදා ඇරඹේ

48

නිපෝන් පේන්ට් රග්බි “ඒ” ‘කාණ්ඩයේ පිරිමි හා කාන්තා ලීග් තරගාවලිය ලබන සිකුරාදා (01 වැනිදා) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි කටයුතු යොදා ඇත.

දිවයිනේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 08 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේ සමාරම්භක තරගය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයීය පිටියේදී විදුලි ආලෝක ධාරා මධ්‍යයෙහි සිකුරාදා ක්‍රියාත්මක කෙරේ.

පසුගිය තෙවසරේ දී මෙන් මෙවර තරග මාලාවේ ද ශූරයන් උදෙසා “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ප්‍රදානය කෙරේ.

මහනුවර ක්‍රීඩා සමාජය, සී.ආර් ඇන්ඩ්.එෆ්.සී. සමාජය, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, සී.එච් ඇන්ඩ්.එෆ්.සී. සමාජය, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය යන කණ්ඩායම් අතරේ මෙහි පළමු වටය ක්‍රියාත්මක වෙයි.

ලෝක රග්බි නීති අනුව ඕනෑම රටක ක්‍රියාත්මක පිරිමි රග්බි තරගාවලියට සමගාමීව කාන්තා තරගාවලියක් ද ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන හෙයින් මෙවර ද යුද, නාවික, ගුවන් සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් සහභාගිත්වයෙන් කාන්තා ලීග් තරගාවලියක් ද පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සැලසුම් කොට ඇත.

තරගාවලිය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ නිපොන් පේන්ට් ආයතනයේ සාමාන්‍යධිකාරී නේමන්ත අබේසිංහ මහතා සඳහන් කළේ, වසර 144 ක දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පිට පිටම තුන්වන වරටත් අනුග්‍රහය දැක්වීමට හැකි වීම සම්බන්ධව සතුටු වන බවයි. මෙම තරගාවලියේ දක්ෂතා ආශ්‍රිතව ඉදිරියේදී ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ද අපේක්ෂා කරන බවත් නේමන්ත අබේසිංහ මහතා පැවසීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment