සේවිකාවකට අතවර කළැයි පුල්මුඩේ ඛනිජ වැලි පරිපාලන නිලධාරියා රිමාන්ඩ්

350

පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සේවයේ නියුතු කළමනාකරණ සහකාරවරියකට අතවර කළේ යැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් එහි පරිපාලන නිලධාරියා කුච්චවේලි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව පුල්මුඩේ පොලිසිය පවසයි.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ පුල්මුඩේ පදිංචි 40 හැවිරිදි විවාහකයෙකි.

සැකකාර නිලධාරියාගේ අතවරයට ලක්ව ඇත්තේ පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථා නිල නිවාසවල සිටි 42 හැවිරිදි නිලධාරිනියක බවත්, ඇය විවාහක කාන්තාවක බවත් පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් පසු එල්ලවූ තර්ජනාත්මක බලපෑම් හේතුවෙන් එම නිලධාරිනිය කුරුණෑගල සිය ගම් ප්‍රදේශයට ගොස් ඇතැයි ද වාර්තා වේ.

මෙම සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙස බල කරමින් ඇයට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවත්, මේ හේතුවෙන් ඇය සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කිරීමට සූදානමින් සිටින බවත් ඛනිජ වැලි සංස්ථා ආරංචි මාර්ග තහවුරු කළේය.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර පරිපාලන නිලධාරියා සමග කාලයක සිට මිත්‍රත්වයකින් පසුවන එම ඛනිජ වැලි සංස්ථාවේ ඉහළම නිලධාරියකු, වෙනත් පුද්ගලයන් ලවා සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙසටත්, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසටත් බලකරමින් එම නිලධාරිනියට තර්ජනය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර පරිපාලන නිලධාරියාගේ අතවරයට ලක්වූ බව කියන සංස්ථාවේ තවත් නිලධාරිනියන් කීප දෙනකු සිටින බවත්, ඔවුන් සැකකරුට ඇති බිය නිසා පොලිසියට පැමිණිලි කර නැති බවත් පැවසේ.

පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන අජන්ත (45611), ධර්මපාල (72061), කාන්තා පොලිස් කොස්තාපල් චතුරි (10848) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment