සොනික්- සොනික් කියන්නේ ෆයිල් එකක නමක්…පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක

84

පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වන විට විවිධ චෝදනා එල්ල වී ඇත. චැනල් 4 නාලිකාව විකාශනය කළ වාර්තා චිත්‍රපටයත් සමග චෝදනා කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයන්ය. එම චෝදනාවන් පිළිබඳව සහ පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් නගන සමහර ප්‍රශ්නවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – චැනල්-4 චිත්‍රපටිය විසින් බරපතළ චෝදනාවන් එල්ලකරලා තිබෙන්නේ, ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – චැනල්-4 කියන්නේ එංගලන්තේ ජනතාව වැඩිය බලන්නේ නැති, පැත්තක තිබෙන නාලිකාවක්. කාලයකට පස්සේ තමයි එම නාලිකාව අපේ රට පිළිබඳව වාර්තා චිත්‍රපටියක් ප්‍රචාරය කළේ. එම නාලිකාව එංගලන්තයට වඩා මේ රටේ ප්‍රසිද්ධ වූයේ උතුර සහ නැගෙනහිර පළාත්වල සිදුකළ මානුෂිය මෙහෙයුම පිළිබඳව විකාශනය කළ වාර්තා චිත්‍රපටි නිසා. එම චිත්‍රපටි මගින් අපේ රටට, එම ආණ්ඩුවට සහ රාජපක්ෂ පාලනයට විශාල හානියක් සිද්ධ කළා.

යළිත් එම නාලිකාව කරළියට ඇවිත් තිබෙන්නේ පාස්කු ප්‍රහාරය අල්ල ගෙන. එම ප්‍රහාරය පිළිබඳව කිසිදු සාක්ෂියක්, පරීක්ෂණයක්, පසුවිපරමක්, සමීක්ෂණයක් නොකර තමයි එම චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තිබෙන්නේ. එම චිත්‍රපටිය මගින් පාස්කු ප්‍රහාරයේ වගකීම රාජපක්ෂ පවුල සහ අපේ පක්ෂය මත පැටවීමට අසාර්ථක, දුර්වල උත්සාහයක් දරලා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයක් කළා. එම කතාත් රටේ මේ පිළිබඳව කතාවෙන දේ පිළිබඳත්, මේ පිළිබඳව සිදුකර ඇති පර්යේෂණ පිළිබඳවත් මම හොඳින් අධ්‍යයනය කළා. මට පෙනී ගිය කාරණය තමයි ඇතැම් අය මෙම බොරු චෝදනාව පදනම් කරගෙන දේශපාලන වාසි ගන්න හදනවා. ඒ වගේම දේශපාලන පළිගැනීම් කරන්න හදනවා. තවත් සමහර අය ජාත්‍යන්තර වශයෙන් නමක් දිනාගන්න නායකයන් වෙන්න හදනවා. ඒ අතර මෙම ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරලා කතාකරන සුළු පිරිසකුත් සිටිනවා. නමුත් ඔවුනුත් එම ප්‍රහාරය තම දේශපාලන වාසිය සඳහා යොදාගනිමින් සිටිනවා.

පාස්කු ප්‍රහාරයට මහින්ද මහතාගේ හෝ ගෝඨාභය මහතාගේ හෝ අපේ පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැහැ. එම ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් පරියේෂණ කිහිපය්ම සිද්ධකරලා තිබෙනවා. ඒ වගේම කොමිෂන් සභා මගිනුත් පරියේෂණ සිදුකරලා තිබෙනවා. ඒ අනුව එක් පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ පසු වෙනවා. තවත් පිරිසකට දඬුවම් කරලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයකුට, ආරක්ෂක ලේකම්වරයකුට සහ පොලිස්පතිවරයකුට දඬුවම් කරලා තිබෙනවා. ඒ වගේම තවත් නඩු ඇසෙමින් තිබෙනවා. එම කටයුතු ඉස්සරහට යනවා.

ප්‍රශ්නය – ඔබ කළ සොයා බැලීම් අනුව කවුද මෙම ප්‍රහාරයට වගකිව යුත්තේ?

පිළිතුර – පාස්කු ප්‍රහාරය සිද්ධ වූයේ 2019 අප්‍රේල් 21ක. නමුත් මෙම අන්තවාදී කටයුතු ආරම්භ වන්නේ 1990 දී පමණ. 1980 සහ 90 යන දශකවලදී ලෝකය පුරා මුස්ලිම් අන්තවාදී ව්‍යාපාර පැතිර යනවා. එම කණ්ඩායම් අතරත් ගැටුම් ඇති වෙනවා. මුස්ලිම් රාජ්‍යයක් පිළිබඳ අදහස තමයි ඔවුන් තදින් අරගෙන යන්නේ.

සහරානුත් වහබ්වාදයට අනුව තමයි කටයුතු කරන්නේ. ඔහු එම මතවාදය සමග 2004 දී පමණ එක් වී තිබෙනවා. සහරාන් හෂිම් ජාතික තව්හිද් ජමාත් සංවිධානය හදලා තිබෙන්නේ 2012දී.

ඔහුට ඒ සඳහා මඟ පෙන්වලා තිබෙන්නේ මේ වනවිට හිරේ ඉන්න නවුෆර් මවුලවි විසින් තමයි.

අයි. එස්. අයි. එස්. සංවිධානය අබුබකර් ලෝක මුස්ලිම් රාජ්‍යය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්නේ 2014 දී. එම සංකල්පය තුළ අන්‍ය ආගමිකයන්ට පවතින්න බැහැ. ඔවුන්ගේ ඉගැන්වීම් අනුව අන්‍යාගමිකයන් ඝාතනය කිරීම පුණ්‍ය කර්මයක්. ඒ වගේම අල්ලා දෙවියන්ගේ ගෞරවයට සහ කීර්තියට පාත්‍රවන කාරණයක් ලෙසයි ඔවුන් සලකන්නේ.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර 2017 සිට සිදුවීම් 11 ක් සිදුවී තිබෙනවා. එම සියලු සිදුවීම් සිදුවන්නේ යහපාලන ආණ්ඩු කාලයේදී. සහරාන් මෙම කටයුතු ආරම්භ කරන්නේ කාත්තන්කුඩිවල සිටි ඉතාම අහිංසක සම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන් පිරිසකට පහර දීලා. ඊට පසුව සහරාන්ගේ කණ්ඩායම, අයි. එස්. කණ්ඩායම අත්අඩංගුවට ගත් පිරිසගේ බෙල්ල කුඩා පිහියකින් කැපුව ආකාරයට බෙල්ල කපලා පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කරනවා. ඒ අතර පුපුරවාහැරීම් කිහිපයක්ම සිද්ධකරලත් තිබෙනවා. මහා ආයුධ ගබඩාවකුත් අහුවෙනවා. තවත් පුපුරායෑමක් සමග සහරාන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගන්නවා. ඒ අතර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමත් විනාශ කරනවා.

එම සිදුවීම් 11 සිදුවන කාලය තුළ ඉන්දියානු බුද්ධි අංශයක නිලධාරියකු අයි. එස්. ත්‍රස්තවාදියකු ලෙස පෙනී සිට සහරාන් රවටාගෙන ඔහු සමග සාකච්ඡා කරනවා. ඒ මගින් සහරාන්ලාගේ ගොඩක් තොරතුරු ලබා ගන්නවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරුුත් ලබා ගන්නවා.

ඒ වනවිට මෙරට ආරක්ෂක මණ්ඩලය රැස් වී නැහැ. ඒ වගේම එම මණ්ඩලය දෙකට බෙදුණු තත්ත්වයකුත් තිබිලා තියෙනවා. පොලිසිය භාර ඇමැතිවරයාට එම මණ්ඩලයේ රැස්වීම්වලට එන්න කියන්නේ නැහැ. ඒ වගේම අගමැතිට හොරෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වෙනවා. බුද්ධි අංශයේ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා තිබෙනවා. එම හේතු සාධකයන් නිසා මේ රටේ ආරක්ෂාව මහා අවුලකට ගිහින් තිබුණා.

මේ කිසිදු කටයුත්තකට අපේ පක්ෂයේ මහින්ද මහතා, ගෝඨාභය මහතා සම්බන්ධ නැහැ. ඉන්දීය බුද්ධි අංශය සියලු තොරතුරු ලබාදීලා තිබියදීත් එම තොරතුරු විශ්වාස නොකර කටයුතු කිරීම නිසා සහ ආණ්ඩුව තුළ තිබුණ ගැටුම්කාරී තත්ත්වය නිසා අවාසනාවන්ත ලෙස එම ප්‍රහාරය සිද්ධ වූවා. මෙම ප්‍රහාරය පිළිබඳව සිදු කළ කිසිදු පරීක්ෂණයක් මගින් අපේ පක්ෂයට සහ නායකයන්ට කිසිදු චෝදනාවක් එල්ල වී නැහැ. එම ප්‍රහාරයට වගකිව යුත්තේ එම ප්‍රහාරය එල්ල වනවිට බලයේ සිටිය ආණ්ඩුව තමයි. එම ආණ්ඩුවේ සිටිය අද සමගි ජන බලවේගය ලෙස සිටින පිරිසත් ඊට වගකිව යුතුයි. ඒ ආණ්ඩුවේ සිටිය මමත් වගකිව යුතුයි.

ප්‍රශ්නය – එතකොට කවුද මේ අබුහින්ද් කියන්නේ

පිළිතුර – ඉන්දීය බුද්ධි අංශය අපේ ශ්‍රී ලාංකිකයෙක් මගින් කටාර්වල ඉඳලා සිරියාවට කාක්ෂණික උපකාර කරපු රහුමාන් කියන පුද්ගලයා සමග සාකච්ඡා කිරීමට, ඒ වගේම සහරාන් සමග සාකච්ඡා කිරීමට බුද්ධි අංශය යොදාගත් නමක්.

ප්‍රශ්නය – එතකොට සොනික් සොනික් කියන්නේ කවුද?

පිළිතුර – සොනික් සොනික් කියන්නේ රහුමාන් වෙනුවෙන් විවෘත කරපු පයිල් එකට දාපු නම. සමහරු හිතනවා ගෝඨාභය හෝ ඔහුගේ ගෝලයෙක් කියලා.

ප්‍රශ්නය – එතකොට පුංචි සහරාන් කවුද?

පිළිතුර – ඉහත සඳහන් කළ රහුමාන් කටාර්වල ඉඳලා දින 6 කට කලින් එනවා ලංකාවට පාස්කු ප්‍රහාරයට. ඔහු ඇවිත් නතරවන්නේ මාතලේ. ඔහු ලංකාවට ඇවිත් ඔහු අතරමැදියෙක් කියලා හිතන් හිටපු බුද්ධි අංශ නිලධාරියාට කතාකරලා කියනවා ඔහුට සහරාන් මුණගස්වන්න කියලා. බුද්ධි අංශ නිලධාරියා එය කරන්නම් කියලා කිව්වත් එය මඟ හරිනවා.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බුද්ධි අංශ නිලධාරියා මෙම පුද්ගලයාට කතා කරනවා. ඔහු ඉන්නේ මාතලේ. ඔහු කියනවා ප්‍රහාරය සාර්ථකයි තවත් ප්‍රහාරයක් සිද්ධවෙන බව. බුද්ධි නිලධාරියා ඔහු පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීලා ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහු ලබාදුන්නු තොරතුරු අනුව තමයි කාත්තන්කුඩිවල නිවසක් පොලිසිය සහ හමුදාව වටලන්නේ. එම අවස්ථාවේදී තමයි සහරාන්ගේ මල්ලි සහ තවත් 17 ක් පුපුරවා ගෙන මැරෙන්නේ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment