සොබාදහම කොපි කරමු

0

පරිසරය, වන සතුන්, වනාන්තර රැක ගැනීම වෙනුවෙන් නැගෙන හඬ සෑම දිසාවකින්ම අපට අහන්න දකින්න ලැබෙනවා. ඒ එක්කම චෝදනා කරන කණ්ඩායමක් වගේම චෝදනාවට ලක්වෙන පිරිසකුත් දකින්න පුළුවන්. මේ දෙපිරිසම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. බොහෝ නිලධාරීන්, බලධාරීන් සහ උගතුන් අපේ අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය කරපු අය. ඒ කියන්නේ රැකවලාත්, විනාශකරන්නාත් අපේ අධ්‍යාපන ක්‍රමයේම නිර්මාණයක් කිව හැකියි. මේ වෙලාවේ මගේ මතකයට එන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන ගිරා පෝතකයන් දෙදෙනෙක් ගැන කියැවෙන කතාවක්. චණ්ඩ මාරුතකට හසුවුණු එකම බෙනයක හිටපු ගිරා පැටව් දෙන්නෙක් ගෙන් එක් පැටවෙක් සොරමුලක් ළඟටත් අනෙකා තාපසාරාමයකටත් වැටෙනවා. සොරුන් ළඟට වැටුණු ගිරවා ගන්නේ හොරුන්ගේ ගති ස්වභාව, කතා විලාසය. තාපසයා ළඟට වැටුණු ගිරා පැටියා තාපසයකු වගේ තැන්පත් ගති සහ විනීතාචාරය ඉගෙනගත් බව මේ කතාව අපට කියනවා. මෙයින් පැහැදිලි කරන දේ තමයි පුද්ගලයෙක්ගේ පවුල් පරිසරය, ආශ්‍රය කරන සමාජ – සංස්කෘතික හා ආර්ථික වපසරිය ආදී සියල්ලම අවසන් පුද්ගල නිමවුමට ඍජුව හා වක්‍රව හේතුවන බව. “අධ්‍යාපනය” මේ අතර ප්‍රධාන වෙනවා. මෙහිදී මම අධ්‍යාපනය කියන්නේ විධිමත් පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබන අධ්‍යාපනය. කලින් සඳහන් කළ බොහෝ සාධක අසමාන වෙතත් රටක අධ්‍යාපන ක්‍රමය යම් තරමකින් විෂය නිර්දේශයෙන් හෝ සමාන වෙනවා. විධිමත් අධ්‍යාපන ක්‍රමයක් හරහා ඒ රටේ පුරවැසියන්ගේ අවසන් නිමවුමේ ස්වභාවය තීරණය කරන්න පුළුවන්. අවම වශයෙන් මේ අධ්‍යාපන ක්‍රමය හරහා නිර්මාණය කරන්නෙ මෙන්න මේ වගේ ගති ස්වභාවලින් යුක්ත පුරවැසියෙක් කියන එක කියන්න බැරිනම් එය අසමත් අධ්‍යාපන ක්‍රමයක්.

ආයෙත් අපේ මුල් කතාවට යමු. පරිසර ප්‍රශ්න. ලොකු මාතෘකාවලට යන්න ඕන නැහැ. කැළිකසළ අපේ රටේ විශේෂයෙන්ම නාගරික, උප නාගරික ප්‍රදේශවල ප්‍රධාන ප්‍රශ්නයක් කරගෙන. ග්‍රාමීය ප්‍රදේශවලට කුණු ගෙනත් ගොඩ ගහන නිසා ඒ තැන්වලත් ගැටලු නිර්මාණය වෙලා. මට අනුව කැළිකසළ ප්‍රශ්නය කියන්නෙම අපේ අධ්‍යාපන ක්‍රමයෙන් උපන් ප්‍රශ්නයක් සහ එයින්ම විසඳිය හැකි ප්‍රශ්නයක්. කසළ කියන්නෙ අපි පරිභෝජනය කරන දේවලින් ජනිත වන්නක්. එනිසා පරිභෝජනයේ දී අපි සැලකිලිමත් වෙනවා නම් මේ ගැටලුව අපේ අභ්‍යන්තරයෙන්ම විසඳාගත හැකියි. ඒ සැලකිල්ල, නැතිනම් වගකීම් සහගත පරිභෝජනය අප අපේ දරුවන්ට උගන්වා තිබේ ද? එය කළ හැක්කේ අධ්‍යාපනයෙන්. නමුත් අප පුරුදු වී තිබෙන්නේ අනෙකාට චෝදනා කරමින් එය බාහිරින් විසඳීමට. සරලවම අපි කරන්නේ, එක් පිරිසක් ප්ලාස්ටික් – පොලිතීන්, කැළිකසළ තැන තැන දැම්මට පස්සේ තවත් පිරිසක් පරිසර දිනේකට ගිහිං ඒවා එකතු කරලා ගණන් කියන එක.

අනෙක් කාරණය අපේ බොහෝ නිපැයුම්කරුවන්ට, අලෙවිකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට තාක්ෂණවේදීන්ට, නීතිවේදීන්ට, ඉංජිනේරුවන්ට, වෛද්‍යවරුන්ට, පරිපාලකයන්ට, ගුරුවරුන්ට වැනි වෘත්තිකයන්ට පවා පරිසර සාක්ෂරතාවය (Environment literacy) ප්‍රමාණවත් අයුරින් නැතිකම. ඔවුන් ලැබූ අධ්‍යාපනයෙන් ඒ ශික්ෂණය ලැබී නැහැ. එනිසා ගැටලුවක දී ඔවුන් සමස්තය දිහා බලා කටයුතු කිරීම වෙනුවට කරන්නෙ අර්බුදයේ කොටසක් පමණක් අල්ලාගෙන එයට පිළියම් කිරීමයි. එය හරියට අන්ධයෝ අලියාගේ හැටි කිව්වා වගේ විකාරරූපී, ප්‍රායෝගිකත්වයෙන් දුරස්ථ දෙයක්. විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ අප මුහුණ දෙන තත්ත්වයන්වලදී මෙය පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන්.

අප මතක තබාගත යුත්තේ අපේ වෘත්තීය ජීවිතය කුමක් වුවත්, අප කොහේ ජීවත් වුණත් ගහ කොළ, සතා සීපාවා, පිරිසිදු වාතය, ජලය, පස අමතක කර ජීවත් විය නොහැකි බව. මේවා ආරක්ෂා කිරීම හා තිරසරව උපයෝජන කිරීම සෑම පුරවැසියකුගේම වගකීමක් හා යුතුකමක්.

අපේ දරුවන් සහ පුරවැසියන්ගෙන් බහුතරයක් අඩු වයසේදීම දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමට ප්‍රධානතම හේතුවක් තමයි වැරදි පරිභෝජන රටා. මේවා නිවැරදි කරගත යුතු නොවේ ද? ඊට අවශ්‍ය මඟපෙන්වීම රටක අධ්‍යාපනයෙන් ලැබිය යුතුයි. එය මොන විෂය ධාරාව හැදෑරුවත් ශිෂ්‍යයකු ලැබිය යුතු අනිවාර්ය අධ්‍යාපනයක් විය යුතුයි. වගකීම් සහගත පුරවැසියා නිර්මාණය වන්නේ ඒ ලැබෙන ශික්ෂණය හරහා. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. අපේ ඊනියා නිදහස් අධ්‍යාපනය තනිකරම අධිවේගී, නිර්දය තරගයක්. එය විභාග සහ අසීමාන්තික සිහින හඹා යන්නට රොබොට්ටන් පුහුණු කරන ආයතන බවට පත්ව තිබෙනවා. උඳු වපුරා අස්වැන්න ලෙස මුං බලාපොරොත්තු වීම මෝඩකමක්. එනිසා අද අප අත්විඳින දේ ගැන එක අතකින් පුදුම විය යුතු නැහැ.

දැන් බොහෝ කාලයක සිට ගෝලීය කථිකාව ගොඩනැගී තිබෙන්නේ බහු විෂය ශික්ෂණයක් (Multi-disciplinary) අන්තර් විෂය ශික්ෂණයක් (Interdisciplinary) සහ පාර විෂය ශික්ෂණයක් (Trans-disciplinary) අදී සංකලනයන් හරහා’ නිර්මාණශීලී, විචාරශීලි සහ ක්‍රියාශීලී වගේම පැතිරුණු දැනුමක් සහිත ප්‍රායෝගික ලෝකයට අවශ්‍ය කායිකවත් මානසිකවත් නිරෝගී පුරවැසියන් නිර්මාණය කිරීමක් ගැන. ඒත් අප සිටින්නේ අධ්‍යාපනය සම්බන්ධ මේ කථිකාවෙන් දුරස්ථව බව පැහැදිලියි.

අප තේරුම් ගත යුත්තේ මානවයන් ලෙසත්, මේ ජීව ලෝකයේ ප්‍රමුඛ සාමාජිකයන් ලෙසත් අප හැමෝටම අත්හැර දැමිය නොහැකි වගකීමක් තිබෙන බව. එය අපේ වෘත්තීය ජීවිතයට වඩා ගැඹුරු හා ඉන් ඔබ්බෙන් පිහිටියක්! එය ගෝලීය පුරවැසි භූමිකාවක් ලෙස ද හැඳින්විය හැකියි. උදාහරණයක් ලෙස අපේ අධ්‍යාපනය නිර්මාණය කරන ඉංජිනේරුවකු ස්වභාවික භූ දර්ශනය විනාශ කරන සහ සොබා සම්පත් නාස්ති කරන, සෞන්දර්ය වටිනාකම් ගැන කිසිම අදහසක් නැති වියළි මිනිසෙක් නම්, ඒ ඉංජිනේරුවාගෙන් ඇති ඵලය කුමක් ද? අප තනා තිබෙන්නේ අර්බුද නිර්මාපකයෙකු පමණක් නොවේ ද?

මට තව එක් උදාහරණයක් කියන්න ඉඩ දෙන්න. මේ කාලයේ වඩා සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් තමයි ජෛව අනුකාරකතාව (Biomimicry). මෙයින් අදහස් කරන්නේ සොබා දහමේ තිබෙන දේවල් අනුකරණය කිරීමෙන් තිරසරතාව ගොඩනඟා ගත හැක්කේ කෙසේ ද යන්නට පිළිතුරු නිර්මාණය කර ගැනීම. සොබාදහම ඉගැනුම් මූලාශ්‍රය ලෙස මෙහි දී සැලකෙනවා. ඉංජිනේරුමය කාර්යයන්වල දී කොහොම ද මේවා භාවිත කරන්නේ කියලා පුළුල් කථිකාවක් ලෝකයේ නිර්මාණය වෙලා තිබෙනවා. ශිෂ්‍යයන් සොබා දහමෙන් වියුක්ත කරන අධ්‍යාපනයකින් බිහිවන අපේ ඉංජිනේරුවන් මේ ගෝලීය කථිකාවෙනුත් දුරස්ථව පිහිටනවා විය හැකියි.

අපි අධ්‍යාපනික විෂයන් වශයෙන් ද පවුරු බලකොටු බැඳගෙන දැඩිව බෙදී සිටින රටක්. ඒවා අතික්‍රමණයට උත්සාහ කරන මොන තරාතිරමක සිසුන්ට වුවත් පහර දෙන්නට අපේ අධ්‍යාපන ආයතනවල ඒ ඒ විෂයන්වලට අරක්ගත් දෙවි දේවතාවුන් පසුබට වෙන්නේ නෑ. එනිසා අච්චුවෙන් පිට නව අදහස්වලට, අලුත් නිපැයුම්වලට ඉඩ ඇහිරිලා තිබෙනවා. විවිධ වර්ණ සංකලනයෙන් අලුත් වර්ණ බිහිවන බව අප අමතක කර තිබෙනවා.

එනිසා මේ සියලු තැන් උත්තේජනය කිරීමෙන් පමණයි යම් රටක පුරවැසි භූමිකාව ශක්තිමත් කළ හැක්කේ. පරිසරය ආරක්ෂා කිරීම වගේම සෙසු පුරවැසි හිමිකම් හා යුතුකම්වල සීමා මායිම් නිර්ණය වෙන්නේ ද ඒ අනුවයි. නමුත් එය මහ පාරවල්වල කරන ඝෝෂාවලින් විතරක් යථාර්ථයක් කරගත නොහැකියි. අපේ අධ්‍යාපන ක්‍රමය ඉදිරිගාමී ලෙස වෙනස් කිරීමෙන් පමණයි අපට වඩා යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ. ඒ අවශ්‍ය වෙනස කරන්නට අප සූදානම් ද? මෙය අප අපගෙන්ම ඇසිය යුතු කාලීන ප්‍රශ්නය යි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment